කිරිහරක්‌ 20 ගානේ පවුල්වලට බෙදනවා

අවුරුද්දක්‌ ගියා තාම මොකුත් දීමට බැරි වුණා. අමතක නොවන වැඩ පිළිවෙළක්‌ ආරම්භ කරනවා. ඉවසීම තියා ගන්න. වෙච්ච පොරොන්දුව ඉටු කිරීමට බැරි නම් ඡන්දය ඉල්ලන්නේ නැතැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය බදුල්ල දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල වැලිගම හෝටලයේදී පසුගියදා සැප්. 25 දා පැවැති ජනහමුවක්‌ අමතා පැවැසීය.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩවිවේල් සුරේෂ් මහතා මහ ලේකම් ලෙසත් පත්වීමෙන් අනතුරුව වතු ප්‍රජාව විසින් සිදුකළ පිළිගැනීම නිමිතිකොට එම ජනහමුව පවත්වන ලදී.

අමාත්‍යවරයා මෙසේද පැවසීය.

වතු සාමාජිකයන් සඳහා ආණ්‌ඩුවේ රෝහලකින් ප්‍රතිකාර ලැබුවත් මුදලක්‌ ලබාගත හැකි රක්‌ෂණ ක්‍රමයක්‌ බදුල්ල දිස්‌ත්‍රික්‌කයෙන් ආරම්භ කරනවා. හැම සාමාජිකයෙක්‌ගේම දරුවන්ට පාසල් පොත් ලබාදීමට කටයුතු කරනවා. බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ වතු ඩිවිෂන් 277 හි පාරවල් සඳහා රුපියල් ලක්‌ෂ 10 බැගින් ලබා දීමට අගමැතිතුමාගෙන් ඉල්ලා තිබෙනවා. කවදාවත් නැති විදිහට වැඩ කරනවා.

තලවර් ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා. වතුවල තරුණ දරුවන්ට රැකියා ලබාදීම සඳහා භාවිත නොකරන වතු බංගලාවල සංචාරක හෝටල් ආරම්භ කරන අතර 200 දෙනකුට පුහුණුව ලබාදෙනවා. එමෙන්ම තවත් 1000 දෙනකුට තොරතුරු තාක්‌ෂණය පිළිබඳව දැනුම ලබාදෙනවා. එය ලොකු වැඩ පිළිවෙළක්‌ දීර්ඝ වැඩපිළිවෙළක්‌.

වත්තේ ජනතාව වත්තේ අයිතිකරුවන් කරනවා. ඉඩම් අයිතිය ලබා දෙනවා. වතු ඉඩම් ඔබලාට බෙදා දෙනවා. එ.ජා. පක්‌ෂයයි ඔබලාට ඡන්ද අයිතිය ලබා දුන්නේ.

ඒකාබද්ධ විපක්‌ෂය අලුත් පක්‌ෂයක්‌ හදන්න ගියා. පටන් ගත්ත තැනම පරවෙනවා. කිව්වා වාගේම මැතිවරණ කොමසාරිස්‌ එහෙම පක්‌ෂයක්‌ හදන්න බැහැ කියනවා. මේ ආණ්‌ඩුව තවත් අවුරුදු ගාණක්‌ ඉන්නවා. වත්තේ දරුවන්ගේ වගකීම අපි භාර ගන්නවා.

තවදුරටත් කතා කළ අමාත්‍යවරයා මට කිරි හරක්‌ 1000 ක්‌ ලැබී තියෙනවා. එම කිරි හරක්‌ 20 බැගින් පවුල්වලට බෙදා දෙන බවද කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩවිවේල් සුරේෂ් ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන එම්. සච්චිත්තානන්දන්, වේලායුදන් රුද්‍රදීපන් යන මහත්වරුද ජනහමුව ඇමැතූහ.