කෝටි 16ක් වටිනා රෝල්ස් රොයිස් රථය


මෙරට මෝටර් රථ වාහන ඉතිහාසයේ එතෙක් මතෛක් වැඩිම මිල ගෙවූ මෝටර් රථය පසුගියදා මෙරට රේගුවෙන් නිදහස් කෙරුණ පුවත තටු මැවී රට පුරා වේගයෙන් ඉගිලී ගිය බව රහසක් නොවේ.

සුපිරි ව්‍යාපාරිකයකු විසින් මෙරටට ගෙන්වන ලද ලොව ධනකුවේරයින් පරිහරණය කරන අති සුඛෝපභොගී මෙම නවීන මෝටර් රථය එංගලන්තයේ රෝල්ස් රොයිස් (Rolls Royce) සමාගම විසින් නිපදවන ලද Wraith වර්ගයට අයත් මෙරුන් පැහැති එකකි.
පළමුවෙන් මෙම මෝටර් රථය පිළිබඳ රටේ කතිකාවක් ගොඩනැගුණේ ඒ සඳහා ගෙවූ දැවැන්ත මුදල් සම්භාරය පාදක කරගෙනයි. මෙම සුපිරි මෝටර් රථය ලංකාවට ගෙන ඒම සඳහා මෙම ව්‍යාපාරිකයා වැය කළ මුළු මුදල රුපියල් 167,136,056කි. (දාසය කෝටි හැත්තෑඑක් ලක්ෂ තිස්හය දාස් පනස් හයයි) මිලියනවලින් 158කි. මෙම මුදලින් රුපියල් 93,833,910ක් (නව කෝටි තිස්අට ලක්ෂ තිස්තුන්දහස් නවසිය දහය) මුදලක් මෙරට රේගුවට බදු වශයෙන් ගෙවා තිබිම ද විශේෂත්වයකි. ඇමෙරිකානු ඩොලර්වලින් මෙහි වටිනාකම 304,350කි. පවුම්වලින් නම් එහි මිල 2,35,416කි. එය රුපියල්වලට හරවා ගණනය කළහොත් 4,45,79,437කි. එනම් හාරකෝටි හතළිස් පන් ලක්ෂ හැත්තෑනව දාස් හාරසිය තිස්හතකි.

එංගලන්ත වාහන වෙළෙඳ‍පොළෙහි රුපියල් කෝටි හතරහමාරකට පමණ මිලදී ගත හැකි මෙම සුපිරි පන්නයේ නවීන මෝටර් රථය ලංකාවට ගෙන එන විට හතර ගුණයකින් මිල ඉහළ යාම මෙහිදී කැපී පෙනෙයි. නමුත් මෙම ව්‍යාපාරිකයා මෙම සුපිරි මෝටර් රථය මෙරටට ගෙන්වීමේදී රේගුව සඳහා ගෙවිය යුතු සියලු බදු මුදල් ගෙවා එය නීත්‍යනුකූලව නිදහස් කරගෙන ඇති බව 15.09.2016 දිනැති රේගුව නිකුත් කළ අංක 0888-014E දරන රේගු ලියවිල්ලෙන් පෙනේ.

මෙතරම් විශාල මුදලක් වියදම් කරමින් මෙරටට ගෙනා මෙම සුපිරි මෝටර් රථය කෙබඳු එකක්දැයි සොයා බැලීමේ කුතුහලය මේ ගැන අසන ඕනෑම සිතක උපදින සිතිවිල්ලක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ ගැන සොයා බලා රටේ ඇත්තන් දැනුම්වත් කිරීම සඳහා විමසිලිමත් වූ විට ඒ ගැන බොහෝ දෙනා බොහෝ කතා කීවෝය. සමහරෙකු විමසුවේ ඒ ගැන සොයා බැලීමෙන් අපට ඇති ඵලය කුමක්ද කියාය. තවත් අයෙකුගේ අදහස් වූයේ නියමාකාරයෙන් බදු ගෙවා මෙම මෝටර් රථය ගෙන්වා ඇති නිසා එහි සොයා බැලීමට තරම් දෙයක් නැති බවය.

car-1“ඒ මනුස්සයට සල්ලි තියෙන නිසානෙ ඕක ගෙන්නල තියෙන්නෙ, ඔය ගැන ලියලා අපේ මිනිස්සුන්ගෙ කුහකකම් අවුස්සන්න එපා”. ඒ තවත් කෙනෙකුගේ අදහසකි. ඒ මොහොතේ මා සිහියට නැගුණේ “ළිඳ මගේ නම් මා ළිඳේ නම් කාටවත් ඇයි වේදනා” යනුවෙන් ත්‍රීවීල් රථයක පිටුපස ලියා තිබූ වැකියකි. තවත් තැනක කියවුණේ මෙම මෝටර් රථය ගෙන්වීම පිටුපස ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍ර රත්නයක් සිටින බවය. ඒ එසේ වුවත් එවැනි දේශපාලන බලයක් මේ රථය රේගුවෙන් මුදා ගැනීම සඳහා භාවිත කළ බවක් පෙනෙන්නට නැත. කවුරුන් හෝ දේශපාලකයකු මහජන දේපළ කොල්ලකා ඉන් මෙවැනි සුඛෝපභෝගී වාහන මෙරටට ගෙන්නුවා නම් අප උරණ වූවාට කම් නැත. රුපියල් කෝටි ගාණක් සුඛෝපභෝගී වාහනයක් සඳහා එක් තැනක ගොඩ ගැසෙද්දී තව තැනක ඊට සාපේක්ෂව දුක් කඳුළු සුසුම් කඳු ගැහෙන බව මාක්ස් හා ලෙනින් ළඟින් ඇසුරු කළ සමජවාදී කඳවුරේ සහෝදරයෙකුට පෙනෙන්නට පුළුවන. අනේ වාසනාවන් අපේ රටට මේක කොච්චර ආඩම්බරයක්ද? කියා කුහක චිත්තයක් තුන් හිතකවත් නැති මේ ගැන ඇසූ ගැමියෙකු හදවතින්ම කියන්නට පුළුවන. එමෙන්ම ආර්ථික විද්‍යාව හදාරන අකීකරු කොලුගැටයෙකුට මෙය රටේ සම්පත් බෙදී යාමේ විෂමතාව ලෙස පෙනෙන්නට පුළුවන. “පෙර පින් කරපු ඇත්තො. පුබ්බේත කත පුඤ්ඤතා කියල කියන්නෙ ඕකට තමයි මහත්තයො.” අප දන්නා හිතවත් ස්වාමීන්වහන්සේ නමක් මේ ගැන කීවේ එවැනි කතාවකි.
ඩුබායි රට ගැන හොඳින් දැන සිටි අපේ හාදයෙක් මෙම සුපිරි මෝටර් රථ කතාව පයිසෙකට මායිම් නොකරමින් කියා සිටියේ “මොන පිස්සුද බං ඩුබයිවල ඔය රෝල්ස් රෝයිස් කාර් තමයි හයර් දුවන්නෙ. අපිට තමයි ඕව මහ ලොකු මැජික්” කියාය.

ඒ කෙසේ වුවත් මේ සටහන තැබිමට අප කල්පනා කළේ මේ කිසිවක් නිසා නොව ලොව ධනකුවේරයින් පරිහරණය කරන මෙම මෝටර් රථය මෙතරම් මිල අධික එකක් වන්නේ ඇයි? යන්නත්, අන් මෝටර්රථවලට වඩා එහි ඇති විශේෂත්වය කුමක්ද යන්නත් පැහැදිලි කර ගැනීම සඳහාය.

එංගලන්තයේ වුඩ්වර්ඩ් පළාතේ පිහිටි රෝල්ස් රෝයිස් වාහන කර්මාන්තශාලාව අරඹන ලද්දේ 1906 මාර්තු 15 වෙනිදාය. ඒ චාල්ස් ඉස්ටිවට් රෝල්ස් හා ෆේ‍රඩ්්‍රක් හෙන්රි රොයිස් යන දෙදෙනාගේ මූලිකත්වයෙනි. දෙදෙනාගේම නමේ අග ඇති කොටස් දෙක එකට එකතු කර මුලින් තැනූ මෝටර් රථය රෝල්ස් රොයිස් ලෙස නම් කළ ඔවුන් දෙදෙන එතැන් පටන් ලෝකයට අවැසි මෝටර් රථ නිෂ්පාදනය සඳහා අත ගැසූහ. නවීන තාක්ෂණය කෙතරම් දියණු වුවත් ඔවුන් තමන්ගේ මෝටර් රථ නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍රසූත්‍ර භාවිත කළේ නැත. මෝටර් රථ සඳහා අවැසි සියලු කොටස් ඔවුන් නිෂ්පාදනය කළේ තමන්ගේ දෑතිනි. අතීතයේ සිටම රෝල්ස් රෝයිස් වාහන විශ්වකර්ම වාහන ලෙසත් එමෙන්ම ඊට සුපිරි මිලකුත් නියම වූයේ එනිසාය.

එංගලන්තයේ එළිසබෙත් මහ රැජිනගේ පටන් ලෝකයේ පුරා විසිරී සිටි රාජ්‍ය නායකයන්, සුපිරි ධන කුවේරයන් තමන්ගේ පෞඩත්වය රැක ගැනීම සඳහා එක් උපක්‍රමයක් වශයෙන් රෝල්ස් රොයිස් මෝටර් රථය භාවිත කෙරිණ. එමෙන්ම ඉන් ලැබෙන ජීවිත ආරක්ෂාව ගැන ද එහිදී ඔවුන් නොසිතුවාම නොවේ.

මෝටර් රථ කර්මාන්තයේ නිම්වළලු පුළුල් කරමින් වේගවත් පිම්මක් පැනීමට රෝල්ස් රොයිස් ආයතනයට හැකියාව ලැබෙන්නේ ඔවුන් බි.එම්.ඩබ්ලිව්. ආයතනය හා සමග සම්බන්ධවීමත් සමගය. 1993දී බි.එම්.ඩබ්ලිව්. ආයතනය සමග සම්බන්ධ වන ඔවුන් රෝල්ස් රොයිස් වාහනවලට නව පණක් දෙමින් ඊට ජර්මන් තාක්ෂණය මුසුකරමින් සුපිරි පන්නයේ වාහන පෙළක් ලෝකයට හඳුන්වා දෙයි. ඒවා නම් Phantom, Phantom Coupe, Ghost, Wraith, Dawn ගැනය. මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ රෝල්ස් රොයිස් ආයතනය විසින් 2013 වර්ෂයේදී ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා නිෂ්පාදනය කරන ලද සුපිරි මෝටර් රථය වූ Wraith ය.

2013දී පළමුවෙන්ම නිෂ්පාදනය කළ මෙම අති සුඛෝපභෝගී මෝටර් රථය දැකුම්කලු මනරම් එකකි. එහි අභ්‍යන්තරය සිත් බඳින දැකුම්කලු නිමාවකින් යුක්තය. දිගින් මිලිමීටර් 5268ක් ද, පළලින් මිලිමීටර් 1948ක් ද උසින් මි.මී. 1507 ද වන මෙම සැප රියේ බර කිලෝ ග්‍රෑම් 2440කි. පවනට බඳු වේගයෙන් ඉගිළ යා හැකි මෙම මෝටර් රථයේ ධාවන වේගය වැඩි කළ හැකි ටර්බෝ පද්ධති දෙකක් වන අතර සිලින්ඩර ධාරිතාව 12කි. එමෙන්ම එහි එන්ජිමේ ධාරිතාව 5600කි. (Twin Turbo Premium V-12 6.6L/402 624 HP@5600 RPM) දොර දෙකේ ස්‍පෝට් වර්ගයේ මෝටර් රථයක් වන මෙහි වේග අටක ස්වයංක්‍රීය ගියර් පද්ධතියකින් සන්නද්ධය. මෙම ගියර් පද්ධතිය ජී.පී.එස්. තාක්ෂණය හරහා චන්ද්‍රිකා තාක්ෂණය සමග මුසුකර ඇත. රථය වේගයෙන් ඉදිරියට ඇදී යද්දී එහි ඇති විශේෂ කැමරා මගින් ඉදිරියේ ඇති මාර්ග පද්ධතිය පිළිබඳ සියලු විස්තර චන්ද්‍රිකා තාක්ෂණය හරහා ජී.පී.එස්. තාක්ෂණය මගින් ගියර් පද්ධතියට ලැබෙන අතර ගියර් පද්ධතිය පාලනය වනු ලබන්නේ ඊට අනුකූලවය. පැයට කිලෝ මීටර් 248 උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙම සුපිරි මෝටර් රියට ආරම්භයේ කිලෝ මීටර් 100 වේගය ලබා ගැනීම සඳහා ගතවන කාලය තත්ත්පර 4.2කි. මෙම සුපිරි රියේ ඉන්ධන ටැංකියේ ධාරිතාව ගැලුම් 21.9කි. (දළ වශයෙන් ලීටර් 84කි) නගරය ඇතුළත කි.මි. 100 ක් ගමන් කිරීම සඳහා මෙම සුපිරි රථයට පෙට්්‍රල් ලීටර් 21.2 ක් වැය වන අතර අධිවෙගී මගකදී එම දුර ගෙවාදැමීම සඳහා වැය වන පෙට්්‍රල් ලීටර් ප්‍රමාණය 9.8කි.

බි.එම්.ඩබ්ලිව්. ආයතනය නිෂ්පාදනය කළ ඔවුන්ගේ සුවිශේෂ හත්වන වාහන කාණ්ඩයට පසුව නිෂ්පාදනය කරන ලද Wraith ජර්මන් තාක්ෂණයේ අග්‍ර ඵලයකි. මෙම මෝටර් රථයේ යතුරු පුවරුව (Dash Board) ඇතුළු ඉදිරි පස නිර්මාණය කර ඇත්තේ දැව වර්ග වලිනි. ඒ සඳහා වර්ණවත් වෛරම් සහිත ඕක් ලී යොදා ඇත්තේ එහි ඇති ගාම්භීරත්වය වැඩි කිරීමටය. එමෙන්ම කිසිදු ප්ලාස්ටික් වර්ගයක් මේ සඳහා භාවිත කර නැත.

මෙහි සුක්කානම තරමක් විශාල වූවකි. මෝටර් රථයේ ඇති බොහෝ උපාංග ක්‍රියාත්මක කිරීමේ යතුරු සියල්ලම වාගේ පිහිටා අත්තේ මෙම සුක්කානම වටාය. විශේෂයෙන් මෙහි ඇති චන්ද්‍රිකා තාක්ෂණය මගින් මෙහෙයවනු ලබන දුරකථන, රේඩියෝ, රූපවාහිනි හා ඩී.වී.ඩී. ඇතුළු සන්නිවේදන උපකරණ පද්ධතිය ගැන යමක් කිව යුතුය. ඒවා ක්‍රියාත්මක වන්නේ එයට අප දෙන වාචික විධානයන් මගිනි.

මෙහි ඇති සුවපහසු ආසන සකසා ඇත්තේ ලොව ඇති වටිනාම පදම් කළ සම් වර්ග භාවිත කරමිනි. එම අසුන්වල අසුන් ගත් පසු ඉරියව් වෙනස්වන ආකාරයට අනුව එම ආසන ද සකස් වේ. කෙටියෙන්ම කිවහොත් ආසනයට ඕනැ විදියට වාඩිවී සිටිය යුතු නැත. එහි අසුන්ගත් අයට අවැසි ආකාරයට මෙම රථයේ ආසන නම්‍යශීලී වීම මෙහි ඇති විශේෂත්වයකි. එම අසුන්වල වාඩිවී සිටින විට සම්භාහනයක් අවශ්‍ය යැයි සිතෙන්නේ නම් ඒ සඳහා ඇති බොත්තම තද කිරීමෙන් එම අවශ්‍යතාව සපුරා ගත හැකිය. අංශක 55ක හැඩයෙන් සකස්වී ඇති මෙම සුඛෝපභෝගී ආසන පද්ධතිය අවශ්‍ය වේලාවක නිදි යහනක් ලෙස සකස් කර ගත හැකිය. මෙම සැප රියේ වහලය ඇතුළු පැත්ත නවීන තාක්ෂණය අනුව අපූරුවට සැකසූ දැවැන්ත රූපවාහිනියක් වැන්න. එහි විවිධ දර්ශන නැරඹිය හැක. තරු සහිත රාත්‍රී අහසක සුන්දරත්වය දැක බලාගැනීමට අවශ්‍ය වන්නේ නම් ඊට ගත වන්නේ නිමේශයකි. අදාළ බොත්තම තද කළ පසු එහි වහලයේ තරු සහිත අහසක් දිස් වේ. එය කෘතිම අහසක් කියා සිතෙන්නේ නැති තරම්ය. එසේම දහවල් කාලයේ අහස නැරඹීමට අවශ්‍ය වන්නේ නම් හිරු රශ්මියෙන් පීඩාවට පත් නොවී කදිමට එය නැරඹිය හැකිය. වහලයේ විශේෂයෙන් සකස් කළ සිදුරු 1600ක් පමණ වේ. අවශ්‍ය වන්නේ නම් ඒ සිදුරු හරහා පිටත වාතය ඇතුළට ගලා ඒමට සැලැස්විය හැකිය. එසේම මෙහි ඇති තවත් සුවිශේෂත්වයක් නම් අවට පවතින කාලගුණික තත්ත්වයට අනුකූලව වාහනයේ අභ්‍යන්තරයේ තත්ත්වයද සකස් වීමයි. වාහනයේ ගමන් කරන අයට තමන්ට අවශ්‍ය ලෙස එම කාලගුණික තත්ත්ව වෙනස් කර ගත හැකිය. මෙහි ගමන් කරන අතරතුරේ ඔබට වැසිකිළි කැසිකිළි යෑමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා බියක් ඇතිකර ගත යුතු නොවේ. මන්ද ඊට අවශ්‍ය පහසුකම් සියල්ල මේ සුපිරි වාහනය තුළ අන්තර්ගතය. කෙටියෙන්ම කිවහොත් මෙය ලොව ඇති අති සුඛෝපභෝගී ජංගම මැදිරියක් වැනිය. මේ සියල්ලටම වඩා සුවිශේෂ වන්නේ එහි ගමන් කරන පුද්ගලයින්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් මෙහි සකසා ඇති උපාංග කට්ටලයයි. වායුව පුරවන ලද ලොකු කුඩා මලු (Air bages) සිය ගණනක් මෙම මෝටර් රථයේ සඟවා ඇති අතර ඊට අමතරව අනතුරු තත්ත්වයක් වළකාලන විශේෂ ආරක්ෂක පද්ධතියක් මෙම සුපිරි මෝටර් රිය සතුය.

ලොව ධන කුවේරයින් සැබෑ කරගත යුතු සිහිනයක් ලෙස දකින මෙම අතිසුඛෝපභෝගී සුපිරි ‘රෝල්ස් රොයිස්’ මෝටර් රථ වසරකට නිපදවනු ලබන්නේ සීමිත ප්‍රමාණයකි. ඒ අනුව 2005 වසරේදී සමාගම නිපදවූ වාහන ප්‍රමාණය 796ක් වන අතර, පසුව එය සීග්‍රයෙන් ඉහළ ගොස් 2014 දී සමාගම වාහන 4063ක් නිෂ්පාදනය කරයි. රක්ෂණ නියෝජිතයකු අප හා පවසා සිටියේ මෙම සුපිරි රථයේ වසරක රක්ෂණාවරණය සඳහා යන වියදම දළ වශයෙන් ලක්ෂ 45ක් පමණ විය හැකි බවයි.

දැනට මෙම සුපිරි මෝටර් රථය භාවිත කරනු ලබන්නේ ලෝකයේ සීමිත පිරිසකි. එම පිරිස අතරට ශ්‍රී ලාංකිකයකු ද ඇතුළු වීම එක් අතකින් අප සිතට ගෙන එන්නේ සතුටකි. අප රට මෙන් 60 ගුණයක් පමණ විශාල ඉන්දියාවේ ද දැනගන්නට ලැබෙන පරිදි රෝල්ස් රොයිස් වාහන ඇත්තේ 5 ක් පමණි. එම වාහන පහම බොලිවුඩයේ සුපිරි තරු පහකට අයත්ය. ඒ අතර අමිතාබ් බච්චන්, අමීර් ඛාන් හා සංජය දත්ගේ නම් කියැවේ.

අප මේ කතා කරන ලොව සුපිරි ධන කුවේරයින් භාවිත කරනවා යැයි උදම් අනන මේ සුපිරි මෝටර් රථය ඩුබායි රටේ හයර් වාහන සඳහා යොදා ගන්නවා යැයි කීවොත් සමහර විට ඔබ පුදුම වනු නොඅනුමානය. නමුත් සැබැවින්ම එය සැබෑවකි. ඩුබායි රටේ කුලී රථ සඳහා භාවිත කරනු ලබන්නේ රෝල්ස් රොයිස් වර්ගයේ සුපිරි වාහනයි.

එය එසේ නම් ඔවුන්ගේ ධනවත්කමේ තරම අපට ඒත්තු යාමට මේ උදාහරණය හොඳටම ප්‍රමාණවත්ය. අද අපේ රටේ ඇත්තේ සුපිරි රෝල්ස් රෝයිස් වර්ගයේ එක් වාහනයක් වුවත් (පැරණි වාහන මෙයට අදාළ නොවේ.) අනාගතයේදී ඩුබායි රටේ මෙන් අපේ රටේ ද සුපිරි රෝල්ස් රොයිස් වාහන කුලී රථ ලෙස භාවිත කරන කාලයක් උදාවේවායි සිතින් සිතමින් මේ සටහනට තිත තබමි.
චන්දන කාරියවසම්