ශිරන්තිගෙන් යෝෂිතගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි

රතු කුරුස සංවිධානය විසින් ‘සිරිලිය සවිය’ ව්‍යාපෘතියට ලබා දුන් ඩිෆෙන්ඩර් රථයේ වර්ණ වෙනස් කර භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් හා බාල පුතු යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරගෙන යන බවට රහස් පොලිසිය ඊයේ (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දුන්නේය.

‘සිරිලිය’ සමාජ සත්කාරයට මෙම වාහනය සත්‍ය වශයෙන්ම යොදා ගත්තේ නම් මෙම රථයේ වර්ණ වරින් වර වෙනස් කර භාවිතා කිරීමට තිබූ අවශ්‍යතාවය කුමක්ද? යන්න හා එය 2015 ජනාධිපතිවරණයෙන් පසු වගකීමෙන් තොරව රතුකුරුස සංවිධානයට භාර නොදී ප්‍රවාහන කළමනාකරුගේ නිවසට ගෙනත් දැමීම ප්‍රබල සැකයක් මතු වන කරුණක් බැවින් මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවට රහස් පොලිසිය අධිකරණයට කරුනු වාර්තා කර තිබිණ.

WPKA – 0642 දරණ ඩිෆෙන්ඩර් රථය අවස්ථා දෙකකදී හිට වෙනස්කර තිබෙන බවත් එය රතුකුරුස සංවිධානය විසින් ‘සිරිලිය සවිය’ ව්‍යාපෘතියට ලබා දී තිබූ අතර 2015 ජනාධිපතිවරණයෙන් පසු එම සංවිධානයේ ප්‍රවාහන කළමනාකරු මජුවාන ගම‍ගේ ජයන්ත කාරියවසම් මහතාගේ හබරකඩ පිහිටි නිවසක දමා තිබියදී රහස් පොලිසිය භාරයට ගෙන මෙහි විමර්ශන ආරම්භ කර තිබිණ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතු වන යෝෂිත රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරී කමාන්ඩෝ බලකායේ යුද හමුදා සැරයන් කුලසේකර මුදියන්සේලාගේ රසික චන්දිමාල් කුලසේකර යන අයගේ ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් ඩිෆෙන්ඩර් රථ රාශියක් තිබූ අතර ඒවා භාරව වෙනම අංශයක් ස්ථාපිත කර තිබූ බවත් ඔවුන් විසින් නිකුත් කරන රථය භාවිතා කරන බවට හෙතෙම රහස් පොලිසිය වෙත ප්‍රකාශ ලබා දී පවසා ඇත.

මීට අමතර රතුකුරුස සංවිධානයේ උපදේශක යූස්ටස් සෙනරත් පෙරේරා, කහඳ ලියනගේ යන අයගේ නැවත ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවට ද රහස් පොලිසිය අධිකරණයට කරුණු දන්වා තිබිණ. දැනට මෙම ඩිෆෙන්ඩර් රථය රතු කුරුස සංවිධානය වෙත ලක්ෂ 50ක බැඳුම්කරයක් මතමුදා හැර තිබෙන අතර වාහනය පිළිබඳ නිතීමය පියවර යෝජනාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට නොවැම්බර් මස 11 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් අධිකරණය මඟින් නොතිසි නිකුත් විණ.