මහ වැව් සියල්ල සිඳී යන ලකුණු

මේ දිනවල රජරටට බලපා ඇති අධික නියඟය හේතුවෙන් එම ප්‍රදේශයේ ඇති වැව් සියල්ලගෙම පාහේ ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය වැවේ ජල මට්ටම 29%ක්, කවුඩුල්ල වැවේ ජල මට්ටම 32.6%ක්, ගිරිතලේ වැවේ ජල මට්ටම 38.8%ක්, පාරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම 49%ක් දක්වාද ජල මට්ටම පහත වැටී ඇත. මේ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 25,000ක් පමණ උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා තිබේ.
එම පිරිසෙන් ජල අර්බුදයට මුහුණ පා ඇති වැඩිම පිරිස වාර්තා වනුයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ය. එම පිරිස පවුල් 14,000කි. වැලිකන්ද හා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පාසල් 10ක සිසුන් 5,000කට අධික පිරිසක් මේ වනවිට උග්‍ර ජල අර්බුදයකට මුහුණ පා සිටිති.


මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකනදරා වැවේ ජල මට්ටම 2.6%ද අංගමුව වැවේ ජල මට්ටම 13.9%ද, පදවිය වැවේ ජල මට්ටම 28.8%ද, මහවිලච්චිය වැවේ ජල මට්ටම 35.2%ද, බසවක්කුලම වැවේ ජල මට්ටම 41.2%ද, තිසාවැවේ ජල මට්ටම 51.9%ද, හුරුළු වැවේ ජල මට්ටම 53%ද, නාච්චාදූව වැවේ ජල මට්ටම 58.3%ද, තුරුවිල වැවේ ජල මට්ටම 59.2%ද, නුවර වැවේ ජල මට්ටම 63.7%ද, හා රාජාංගණය වැවේ ජල මට්ටම 71.4%ද වන තෙක් පහත බැස තිබේ.