ගංජා විකුණපු හිමිනමකට දඩ

ගංජා කිලෝ එකයි ග්‍රෑම් විස්සක් (1.020)ක් ළඟ තබාගෙන සිටි හිමිනමකට කෑගල්ල පළාත් බඳ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා ඊයේ (19දා) රුපියල් 25,000ක දඩයක් හා අත්හිටුවූ සිරදඬුවම් නියම කෙළේය.

මෙලෙස දඩ මුදල් හා සිර දඬුවම් නියම වූයේ වරකාපොළ, තලගම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි හිමි නමකටය.

වරකාපොළ පොලිස් වසමේ නියදුරුපොළ ග්‍රාමයේ දී 2013 නොවැම්බර් මස 24 වැනි දින රාත්‍රි 11.45ට පමණ ගංජා අලෙවි කරමින් සිටියදී වරකාපොළ පොලිසියට ලද තොරතුරු අනුව හිමිනම සහ ගංජා කිලෝ එකයි ග්‍රෑම් විස්සක් අත්අඩංගුවට ගෙන තිබිණි.


ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය සැකකරු තුල්හිරිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

මාස ගණනාවක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි හිමිනම පසුව ඇප මත මුදාහැර තිබිණි. පසුව වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අදාළ නඩුව කෑගල්ල පළාත්බද මහාධිකරණය වෙත යොමු කොට තිබුණු අතර සැකකාර හිමිනම මහ අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගංජා සන්තකයේ තබාගැනීම යටතේ රුපියල් 25,000ක දඩ මුදලක්ද, දඩ මුදල නොගෙවන්නේ නම් වසරක ලිහිල් සිර දඬුවමක්ද, ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වසර 2ක සිර දඬුවමක්ද, එය වසර 10 දක්වා අත්හිටුවා ඇත. විත්තිය වෙනුවෙන් නීතිඥ ශීලා දයානන්ද, පැමිණිල්ල වෙනුවෙන් අධිනීතිඥ නිශාරා ජයරත්න ද පෙනී සිටියහ.