දුමින්දයි චමින්දයි පල්ලෙකැලේ හිරගෙදරට

භාරත ලක්‍ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ මරණීය දඬුවම නියම වූ විත්තිකරුවන් පස් දෙනා අතරින් තිදෙනෙකු වැලිකඩටත් දෙදෙනෙකු පල්ලෙකැලේ (පෙර බෝගම්බර) සිරගෙදරටත් යැවීමට ආරක්ෂක හේතූන් මත බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ඇතැයි වාර්තාවේ.

එම දෙදෙනා වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා හා චමින්ද රවි ජයනාත් (දෙමටගොඩ චමින්ද)ය. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල සාමාජිකයන්ගෙන් එම දෙදෙනාට අනතුරක්
සිදුවේය යන හේතුව මත ඔවුන් එසේ ස්ථාන මාරුකර හැරීමට තීරණය කර ඇති බවද දැන ගැනීමට තිබේ.

එම ස්ථාන මාරු කිරීම ස්ථිර වශයෙන්ම අද (9දා) දිනය තුළදී සිදු කිරීමට නියමිතය.

එතෙක් එම සිරකරුවන් පස්දෙනා මරණ දඬුවම නියම වූවන්ගෙන් වෙන්කර තැබීමට ඊයේ (8දා) පියවර ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එම සිරකරුවන් පස් දෙනා වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වෙනමම රඳවා තැබීමට ඊයේ දිනයේදී (8දා) පියවර ගත් බවකි.