හිරුණිකාට පිටරට ගමන් තහනම්

දෙමටගොඩ රෙදි වෙළෙඳසලක්‌ තුළදී බලහත්කාරයෙන් තරුණයකු පැහැර ගෙන ගොස්‌ අයුතු ලෙස සිරකර තැබීම ඇතුළු අධි චෝදනා 24 ක්‌ යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ නවවැනි විත්තිකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 9 දෙනාට විදේශ ගතවීම වැළැක්‌වීමේ නියෝගයක්‌ පනවා ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි කේ. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (21 වැනිදා) නියෝග කළාය.

මහාධිකරණය විසින් නිකුත් කරන ලද නොතිසි නියෝග අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 9 දෙනා ඊයේ මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර, විදේශ ගමන් බලපත්‍ර මහාධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසට ද විත්තිකරුවන්ට විනිසුරුවරිය නියම කළාය.

ඇප ලබා ගැනීමෙන් පසුව පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට කිසිම ආකාරයකින් බලපෑමක්‌ හෝ තර්ජනයක්‌ සිදු නොකරන ලෙසට ද එහිදී විත්තිකරුවන්ට අවවාද කළ මහාධිකරණ විනිසුරුවරිය එලෙස බලපෑම් කළ බවට සාධාරණ පැමිණිල්ලක්‌ ලදහොත් විත්තිකරුවන් නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කරන බවට ද අවවාද කළාය.

නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මුල් අවස්‌ථාවේදී වරද පිළිගැනීමට කැමැති නම් ඒ බව අධිකරණයට දන්වන ලෙසත්, එවිට යම් සහනයක්‌ ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීමට අධිකරණයට හැකියාව ඇති බවත් විනිසුරුවරිය විත්තිකරුවන්ට දැනුම් දුන්නාය. එසේ නමුත් තම අධිකරණය ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක්‌ නොකරන බවද විනිසුරුවරිය එහිදී පෙන්වා දුන්නාය.

අධිකරණය නියම කළ එකී ඇප කොන්දේසි සපුරාලීම සඳහා කෙටි දිනයක්‌ ලබා දෙන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් නියම කොට තිබූ පෙර ඇප මත විත්තිකරුවන් සියලු දෙනා මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරිය නව ඇප කොන්දේසි ලබන 29 වැනිදා සපුරාලන ලෙසට විත්තිකරුවන්ට නියෝග කළාය.

2015.12.21 වැනිදා දෙමටගොඩ ලකී ස්‌ටාර් ටෙක්‌ස්‌ටයිල් ආයතනය තුළදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තාව බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස්‌ අයුතු ලෙස සිරකර තැබීම ඇතුළු අධි චෝදනා 24 ක්‌ යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර, රජයේ අධිනීතිඥ චමල්කා සමරසිංහ මෙනවිය නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි අතර, නීතිඥ මොහොමඩ් පවුම් මහතාගේ උපදෙස්‌ පරිදි නීතිඥ අජිත් පතිරණ හා නීතිඥ අනුර සෙනෙවිරත්න මහත්වරු විත්තිය නියෝජනය කළහ.

එකී නඩු කටයුත්ත විභාග කිරීම සඳහා ලබන ජනවාරි 10, 11 යන දෙදින නියම කළ විනිසුරුවරිය එම දෙදින අධිකරණය විසින් විශේෂයෙන් නියම කොට ඇති බැවින් අනිවාර්යයෙන් ම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද විත්තිකරුවන්ට අවවාද කළාය.