පිළිකා රෝහ‍ලේ හෙදියන් ගබ්සාවට

මහරගම අපේක්ෂා (පිළිකා) රෝහ‍ලේ සේවය කරන හෙදියන් සැලකිය යුතු පිරිසක් ගබ්සාවන්ට ලක්ව ඇතැයි වාර්තා වේ.

එසේම උපදින දරුවන් නිසි බරකින් යුක්ත නොවීම හා නියමිත දිනයන්ට කලින් ඉපදීම වැනි බරපතළ ගැටලු ගණනාවක් මතුවනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

නිරන්තරයෙන්ම විකිරණ වලට ලක්වීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට හෙදියන්ට සිදුව ඇතැයිද ගර්භණී කාලය තුළදී නිසි ‍පෝෂණයක් ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් දරුවන්ගේ වර්ධනය බාල වී ඇතැයිද හෙළිව තිබෙන බව හෙතෙම පෙන්වා දේ.

එක් හෙදියක් සාමාන්‍යයෙන් දිනකට සිය සේවා කාලය පැය 6ක් වුවද රෝහ‍ලේ පවතින උග්‍ර හෙද හිඟය හේතුවෙන් බොහෝ විට එක් හෙදියක් පැය 24ක කාලයක් වුවද සේවය කරන අවස්ථාවන් තිබෙන බැවින් ඔවුන්ට ගර්භණී සමයේදී ප්‍රමාණවත් ‍පෝෂණයක් නොලැබෙන බවද සමන් රත්නප්‍රිය පවසයි.

ඇතැම් අවස්ථාවන්වලදී වසර ගණනාවක් එම රෝහ‍ලේ රැඳී සිටි හෙදියන් විකිරණ ප්‍රතිකාරවලට නිරාවරණය වීම හේතුවෙන් ඔවුන් පිළිකාවට ගොදුරු වීමට සිදුව තිබෙන බවත් මේ හේතුවෙන් මෙම රෝහ‍ලේ සේවය කරන හෙද හෙදියන්ට යම් සාධාරණයක් ඉටු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළද එයින් පළක්වී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.