නාමල්ගේ අධ්‍යක්ෂවරු අල්ලන්න ඉන්ටපෝල් සහය පතයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිය නිල බලය අයුතු ලෙස යොදවා අයථා අන්දමින් රුපියල් මිලියන 45ක මුදලක් උපයා ගැනීමේ චෝදනාව එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගම් දෙකක අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ප්‍රභාත් ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා වහාම අත්අඩංගුවට ගැනීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා දෙවන වරටත් වරෙන්තු නිකුත් කළේය.

එම වරෙන්තු නියෝගය ජාත්‍යන්තර ‍පොලීසිය මගින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එහිදී වැඩිදුරටත් නියෝග කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් තම කොට්ඨාසය විසින් සිදුකළ මූලික විමර්ශන අවසන් කොට උපදෙස් ලබාගැනීමට නීතිපතිවරයා වෙත විමර්ශන උධෘත ඉදිරිපත් කොට ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. ඒ අනුව එම නඩුව ලබන දෙසැම්බර් 8 වැනිදා කැඳවීමට අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.