නිල ඇඳුම් වව්චර් නොවැම්බරයේ

නිල ඇඳුම් ලබා ගැනීම සඳහා වන වව්චර් පත් නොවැම්බර් මස මුල් සතියේ දී සිසුන් අතට පත් කිරීමට අධ්‍යාපන සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.

පසුගිය වසරේ මෙන් නොව මෙවර වව්චර් පත් ලබා ගැනීම සඳහා දෙමව්පියන්ට පාසලට පැමිණීමට හෝ වව්චර් පතේ අත්සන් කිරීමට හෝ අවශ්‍ය නොවන අතර පන්ති භාර ගුරුවරයා පවත්වාගෙන යන ලේඛනයේ වව්චර් පත භාරගත් බවට අදාළ ශිෂ්‍යයා අත්සන් කිරීම ප්‍රමාණවත් වන්නේය.

පසුගිය වසරේ මෙන් මෙවරද වටිනාකම් 14 ක්‌ යටතේ වව්චර් පත් නිකුත් කෙරෙන අතර පහළම වටිනාකම් යම් ප්‍රමාණයකින් වැඩිකරන බව අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ ලේකම් තිස්‌ස හේවාවිතාන මහතා පැවසීය.

නවීන තාක්‍ෂණික උපක්‍රම සහිතව මුද්‍රණය කෙරෙන මෙම වව්චර් පත්වල පළාත, අධ්‍යාපන කලාපය මෙන්ම පාසලද හඳුනාගත හැකි රහස්‍ය අංකයක්‌ ඇතුළත් කෙරෙන බවද ලේකම්වරයා කීවේය.