ඇමැති රංජන්ට මහින්දානන්දගෙන් නඩු

මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාස සංකීර්ණය තුළ තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය තමාට අයත් එකක් බවත්, එය පසුගිය රජය සමයේ නාවලපිටිය ප්‍රදේශයේ සිදුවූ පහරදීම් හා මිනීමැරුම් සඳහා යොදාගත් එකක් බවත් පවසමින් තමාගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ සමාජ සවිබලගැන්වීම් හා සුබසාධක නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හා තමාගේ ඥාති සහෝදරයකු වන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ යන දෙදෙනාගෙන් රුපියල් කෝටි සියයක වන්දියක් අයකර දීමට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩු පැවැරීය.

පැමිණිලිකාර අලුත්ගමගේ මහතා සිය නීතිඥවරයා වන පාලිත පෙරේරා මහතා මඟින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසන්නේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ ක්‍රියාකාරි සාමාජිකයකු මෙන්ම අමාත්‍යධුර කීපයක කටයුතු කර ඇති බවත්ය.

දේශපාලනයට පැමිණීමෙන් පසු මහජනතාව අතර ඉතා ඉහළ කීර්තිනාමයක් ලබාසිටි තමාට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරමින් ඉහත කී විත්තිකරුවන් දෙදෙනා මාධ්‍ය සාකච්ඡාවේදී සිදුකළ ප්‍රකාශ රූපවාහිනි නාළිකා කිහිපයකම විකාශය වූ බවද එමඟින් තමාගේ කීර්ති නාමයට බලවත් අපහාසයක් සිදුවූ බවද එය පිරිමසාලිය නොහැකි අපහාසයක් බවද ඒ මහතා පවසයි.

තමාට කළ අපහාසය සම්බන්ධයෙන් සමාව ගැනීමක් හෝ එසේ නොමැති නම් එම දෙදෙනාගෙන් රුපියල් කෝටි පනහ (50) බැගින් කෝටි සියයක් තමාට ලබාදෙන ලෙසට තමා සිය නීතිඥවරයා මඟින් එන්තරවාසියක් යවමින් එකී විත්තිකරුවන් දෙදෙනාගෙන් ඉල්ලා සිටියද ඔවුන් එම ඉල්ලීම පැහැර හැර ඇති බවද ඔහු සිය පැමිණිල්ල මඟින් දන්වා සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ නුගේගොඩ දිසා විනිසුරු සහන මාපා බණ්ඩාර
මහතා එකී විත්තිකරුවන් දෙදෙනාට නොවැම්බර් මස 16 හා 18 යන දෙදින තුළ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට නියෝග කළේය.