උදය ගම්මන්පිලට නොතීසි

විදේශ ජාතිකයින් දෙදෙනෙකුගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස්‌ කළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක්‌ උපයෝගි කරගනිමින් ඔවුනට අයත් සමාගමක කොටස්‌ අලෙවි කොට රුපියල් මිලියන 21 ක මුදලක්‌ සඳහා සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා හතරක්‌ යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන උදය ගම්මන්පිල මහතාට හා සිඩ්නි ජයසිංහ මහතාට ලබන නොවැම්බර් 1 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (05 දා) නියෝග කළේය.

එකී ක්‍රියා කලාපය මගින් රුපියල් මිලියන 20 ක මුදලක්‌ වංචා කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා දෙකක්‌ යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර පිවිතුරු හෙල උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ලබන නොවැම්බර් 3 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමටද කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (05 දා) නියෝග කළාය.

නීතිපතිවරයා විසින් එකී චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව වෙන් වෙන්ව ගොනු කර තිබු නඩු දෙකක්‌ සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරුන් එම නොතිසි නියෝග නිකුත් කළේය.