හිසකෙස් සුදුවීම වලක්වාගැනීමට දේශීය වෙදකම්


රූ සපුව ගැන උනන්දු වන සෑම කෙනෙක්ම තම කොණ්ඩයට විශේෂ සැලකිල්ලක් දක්වති. කොණ්ඩය සිරුරේ පැහැය, වයස ආරක්ෂා කරමින් වඩාත් තරුණ පෙනුමක් ඔබ වෙත ගෙන එයි. නමුදු වයසට යාමට පෙර කෙස් සුදුවීම අද සමාජයේ බහුලව දැකගත හැකි තත්ත්වයකි. කෙස් සුදුවීමත් සමඟ අවබෝධ වනුයේ අප වයසට ගොස් ඇති බවය.

හිසකෙස් ගැන සැලකිලිමත් වීමේදී ඒවා සෑදී තිබෙන්නේ මතු පිටට පෙනෙන, වර්ණක සහිත කෙන්ද සහ එහි පතුලේ ඇති ෆොලිකල් මඟිනි. සෑම ෆොලිකල් එකක් තුළම වර්ණක සෛල අඩංගු වේ. එම වර්ණක සෛල මඟින්මෙලනින් නම් රසායනික ද්‍රව්‍ය නිපදවනු ලබයි. සිරුරේ පැහැය මෙන්ම හිසකෙස් වල පැහැයද ඇති කරනුයේ මෙලනින් මගිනි. මෙලනින් මගින් පිටතට පෙනෙන කෙන්දේ වර්ණය කළු, දුඹුරු හෝ රතු ලෙස පෙන්නුම් කරයි. හිසකෙස් වල වර්ණ තද පාට හෝ වර්ණවත්ද යන්න තීරණය වනුයේ මෙලනින් වර්ණකය නිසාය. තද කළු හිසකෙස් ඇති අයගේ මෙලනින් වර්ණකය වැඩිපුර පිහිටා

තිබේ. ලා පැහැති හිසකෙස් ඇති අයගේ මෙලනින් වර්ණකය අඩුය. එසේම සුර්යයාට නිරාවරණය වී සිටින විට සමේ පැහැය තීරණය කරනුයේද මෙලනින් වර්ණකය වීම තවත් විශේෂත්වයකි.

අප වයසට යන විට ෆොලිකල් ඇතුලේ ඇති වර්ණක සෛල ක්‍රමයෙන් මැරී යනු ඇත. එවිට හිසකෙස් වල පවතින කළු වර්ණකය

රිදී පැහැයට හැරී එය වර්ධනය සමඟ දුඹුරු හා සුදු පැහැයක් ගනී. ඉන්පසු වර්ණක සෛල මැරීගිය පසු හිසකෙස් සම්පූර්ණයෙන්ම සුදු පැහැයක් ගනී.

එසේ නම් කෙස්වල වර්ණය වෙනස් වීමට බලපානුයේ අපගේ ජාන ක්‍රියාකාරීත්වයයි. මෙහිදී වැදගත් වනුයේ දෙමාපියන්ගෙන් අපට උරුම දේ මත එය සිදුවන බවයි. මව්පියන්ගේ කෙස් වයසට යාමට පෙර සුදුවී ඇත්නම් ඔබගේත් තරුණ අවදියේදීම කෙස් සුදුවීම පටන්ගනී. දෙමාපියන්ගේ කෙස් වයසට ගොස් සුදු වන්නේ නම් ඔබගේත් කෙස් වයසට ගිය පසු සුදුවේ.

ඉහත කී කාරනා ඔබ අප සියලු දෙනාට එකසේ බලනොපාන අතර එය ජානමය හේතු මත සිදුවන දෙයක් බව මතක තබාගත යුතුය.

බොහෝ දෙනකුගේ හිසකෙස් සුදුවීම තරුණ අවදියේදීම සිදුවේ.

තවත් සමහර අයගේ අවුරුදු 40 - 50 පමණ වනවිට සුදුවන බව සොයාගෙන ඇත. පළමුවෙන්ම සුදු හිසකෙස් ගසක් දැකපු දින සිට එය හිස පුරාම ව්‍යාප්ත වන්නට අවුරුදු 10 කට අධික කාලයක් ගත වේ.

හිසකෙස් සුදුවීමට බලපාන වෙනත් සාධක

විටමින් බී හා විටමින් බී 12 ඌණතාවය නිසා මන්දපෝෂණය, රක්ත හීනතාවය වැනි රෝග තත්ත්ව ඇති වේ. එම රෝග තත්ත්ව හිසකෙස් සුදුවීම කෙරෙහිද බලපානු ලබයි. තවද තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරකම් අඩුවීම මත හා දුම්පානය නිසාද හිසකෙස් සුදු වේ. දුම් නොබොන තරුණ අයට වඩා හතර ගුණයක් ඉක්මනින් දුම්බොන අයගේ හිසකෙස් සුදුවීම ආරම්භ වේ. එයට හේතුව ශරීරයේ පටක වල ඇති ඔක්සිජන් බිද වැටීමයි.

ඇතැම් රෝග වලට ප්‍රතිකාර කිරීමේදී හිසකෙස් සුදුවේ. මෙම තත්ත්වය බහුලව දැකගත හැක්කේ පිළිකා වලට හා ඒඩ්ස් වලට ප්‍රතිකාර කිරීමේදී බව සොයාගෙන ඇත. එයට හේතුව එවැනි රෝගීන් බලවත් චිත්ත පීඩාවන්ට පත්ව සිටීමය.

මෙම හේතූන්ට අමතරව පීනස, වායු සමීකරණ කරන ලද කාමර වල, වාහන වල නිතර සිටීම නිසාද, අධික ශීතල වතුර හා රාත්‍රි කාලයේ නෑම නිසාද, නිදිවැරීම හා පිනිබෑම නිසාද, විෂ සහිත ආහාර පාන හා සමබල ආහාර වේලක් නොගෙන සිටීම නිසාද හිසකෙස් සුදුවේ. මෙහිදී ජාන ක්‍රියාකාරීත්වය මත සිදුවන හිසකෙස් සුදුවීම වළක්වා ගත හැකිය. මේ සියල්ලටම ඔබේ හිසකෙස් සුදුවීම වළක්වා ගත නොහැකි නම් ශාකශාර වලින් සාදා ගන්නා ඩයි වර්ග භාවිතා කළ හැක. නමුත් එම ඩයි වර්ග භාවිතයෙන්ද අතුරුආබාධ ඇතිවේ.

අකලට හිසකෙස් ගැලවී යාම හා පැසීම සඳහා දේශීය වෙදකම්

කැඳ වර්ග -ගොටුකොළ, මොනරකුඩුම්බිය, ඉරමුසු, මුගුණුවැන්න, කී කිරිදිය, නෙළුම් අල, හාතවාරිය, පොල්පලා, කරපිංචා, ලුණුවිල යන මින් කුමන හෝ ඖෂධයකින් සාදාගත් කැඳ වර්ගයක් සතියකට දින කිහිපයක් පානය කිරීම.

හිසෙහි ආලේප කිරීම සඳහා

* දෙහි ගැට, උළුහාල් තම්බා හිස සේදීම.

* නික කොළ, පොකුරු වදමල්, නෙල්ලි, වෙනිවැල්ගැට, සැවැන්දරා තැම්බූ වතුරින් හිස සේදීම.

* අමු නෙල්ලි දෙහි යුෂ සමඟ මිශ්‍රකර නෑමට පෙර හිසේ ආලේපය.

* වෙරළු කොළ යුෂවලින් හිස සේදීම.

* කී කිරිදිය, මුගුණුවැන්න, ගොටුකොළ, එළකිරි හෝ ජලය සමඟ අඹරා ආලේපය.

* රත්මල් කැකුළු කුඩු කී කිරිදිය හා පොල් කිරි සමඟ මිශ්‍රකර ආලේපය.

* කෝමාරිකා මදය බිත්තර කහ මදය සමඟ මිශ්‍රකර ආලේපය.

* දුම්මැල්ල කොළ ඇල්දියෙන් අඹරා ගෑම.

* නිල්අවරිය කොළ කොටා මිරිකා ගත් යුෂ ආලේපය.

* පොකුරුවද මල් ජලය සමඟ අඹරා ආලේපය.

* අරළු තිප්පිලි, අවරිය කොළ, සහල් කැඳ සමඟ අඹරා ආලේපය.

* දෙහි කොළ යුෂ, දෙහි යුෂ, පොල්කිරි, හිරුඑළියෙන් රත්කර ආලේපය.

* තල තෙල් හෝ පොල්තෙල් වලට නෙල්ලි කුඩු දමා සිදගත් තෙල් ආලේපය.

* කරපිංචා කොළ දමා රත්කර ගත් පොල්තෙල් ආලේපය.

* නික කොළ යුෂ තලතෙලට දමා සිදගත් තෙල් ආලේපය.

* කීකිරිදිය කොළ යුෂ තල තෙලට දමා සිදගත් තෙල් ආලේපය.

* ගම්මාලු කිරි තලතෙලට දමා සිදගත් තෙල ආලේපය.

මෙම ඖෂධ හිසේ ආලේප කර පැය 2-3 පසු ස්නානය කළ යුතුය.

හිසට දැමිය හැකි තෙල්

පොල්තෙල්, තැඹිලි තෙල්, තල තෙල්, දශවග ප්‍රමේග තෙල්, බ්‍රාහ්මී තෙල්, භෘංගාමලක තෙල්, මයුර කාන්ති තෙල්, කේශ වර්ධනී තෙල්, නීල්්‍යාදි තෙල්, අරූද තෙල්

අකලට හිසකෙස් යාමට හා පැසීමට තෙල් වර්ග නිර්දේහ කළ හැකි නමුත් පීනස වැනි රෝගී තත්ත්වයන් ගැනද සැලකිලිමත් විය යුතුයි.

දිගු නිරෝගී කෙල් කළඹකට

* නෙල්ලි තැම්බූ වතුර පානය කිරීම.

* ඉරිවේරිය තැම්බූ වතුර පානය කිරීම.

* බුළු කුඩු උක් හකුරු සමඟ මිශ්‍රකර තේ හැන්දක ප්‍රමාණක උදෑසන කෑම.

* රසකිද යුෂ හිසෙහි ආලේපය.

* සැවැන්දරා තැම්බූ ජලයෙන් හිස සේදීම.

* තිබ්බටු, කීකිරිදිය ව්‍යංජන වශයෙන් භාවිතය.