හොර ලොතරැයි රට පුරා !

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරට වෙළෙඳපොළට නිකුත් කරන ටිකට්පත් අතරට ව්‍යාජ ටිකට්පත් ඇතුළත් කිරීමේ ජාවාරමක් කි‍්‍රයාත්මක වන බව අනාවරණය වී තිබේ.

අදාළ ටිකට්පත් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරම පිටුපස ටිකට්පත් මුද්‍රණ කොන්ත‍්‍රාත්තුව භාරගෙන ඇති මුද්‍රණ සමාගම් සහ ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් ද සිටින බවට තොරතුරු ලැබී තිබේ. 

මෙහි ආසන්නතම සිදුවීම වනුයේ ඉකුත් මැයි මාසයේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදින ලද ‘නියත ජය’ ලොතරැයියේ පළමු ත්‍යාගය හිමි ටිකට්පත ව්‍යාජ එකක් බවට හඳුනාගෙන තිබීමයි. ‘නියත ජය’ ලොතරැයියේ 462 වාරයේ දිනුම් අදින ලද ජයග‍්‍රාහී අංක ඇතුළත් ටිකට්පත සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ලැබීමෙන් පසුව අදාළ ටිකට්පත ලොතරැයි මණ්ඩලයට ඉදිරිපත් කළ ජයග‍්‍රාහකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

මේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවයි. ‘නියත ජය’ ලොතරැයිය මුද්‍රණය කර සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ලබා දීමේ කොන්ත‍්‍රාත්තුව භාරගෙන තිබුණේ බොරලැස්ගමුවේ පිහිටි ‘ඩිජි ස්කෑන් පි‍්‍රින්ටින් ඇන්ඞ් පැකේජින්” නමැති සමාගමක්ය. නීති විරෝධී ලොතරැයි ජාවාරම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඩිජි ස්කෑන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී පාලිත පෙරේරා මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම සඳහන් කළේ ‘නියත ජය’ ලොතරැයිය සංවර්ධන ලොතරැයි මණ්ඩලයට මුද්‍රණය කර භාරදීමේ කොන්ත‍්‍රාත්තුව 2016 ජුනි මස 16 වනදායින් පසුව අවසන් කෙරුණු බවයි. ඊට අදාළ ගනුදෙනු සියල්ල අවසන් බැවින් තම සමාගම සම්බන්ධව කිසිදු තොරතුරක් ලබා දීමට නොහැකි බව ද ඔහු පැවසුවේය. ව්‍යාජ ලොතරැයිපත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමේ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබුවේදැයි අප අසන ලද පැනයට පිළිතුරු දුන් පාලිත පෙරේරා මහතා කීවේ ඒ සම්බන්ධයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් විමසීමක් කරන ලෙසයි. මෙකී සිදුවීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමාගෙන් නොවිමසන ලෙස ද හෙතෙම ඉල්ලීමක් කළේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් 462 වාරයේ දිනුම් අදින ලද නියත ජය ලොතරැයිය ව්‍යාජ ටිකට්පතක් වී ඇත්තේ කෙසේදැයි ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයසිංහ මහතාගෙන් අපි විමසා සිටියෙමු. ඔහු එම ගැටලූව අතිරේක සාමාන්‍යාධිකාරී කසුන් ජයසූරිය මහතා වෙත යොමු කරන ලද අතර කසුන් මහතා සඳහන් කළේ අදාළ ලොතරැයිපත සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර විශේෂ විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවයි. 462 වාරයේ දිනුම් අදින ලද ‘නියත ජය’ ලොතරැයියේ ජයග‍්‍රාහී අංක සඳහන් ටිකට්පත ජාතික ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කළ එකක් බවත් එහි ජයග‍්‍රාහී අංක අනුපිළිවෙළ සම්බන්ධයෙන් ගැටලූවක් මතු වූ බවත් හෙතෙම කීය. ජයග‍්‍රාහී ලොතරැයිපත ඉදිරිපත් කළ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන බවත් විමර්ශනයෙන් අනතුරුව තවත් කරුණු අනාවරණය වනු ඇති බවත් කසුන් ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ව්‍යාජ ලොතරැයිපත් වෙළෙඳපොළට මුසු කිරීම සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශර්මිලා පෙරේරා මහත්මියගෙන් අප කළ විමසීමක දී ඇය මෙසේ පැවසුවාය.

” මං යන්න ඉස්සෙල්ලා ඉඳලම ව්‍යාජ ටිකට් පොත් මුද්‍රණය වෙනවා. ඒක හැමදාම හැම මාසේම සිද්ධ වෙනවා. අපි මේක නීතිපතිතුමාටත් දැනුම් දුන්නා. එතුමා තමයි කිව්වේ ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරන්න කියලා. මේ රටේ මුදල් නෝට්ටුත් හොරට ගහනවා. එහෙව් එකේ ටිකට්පොත් නොගහ ඉඳියිද? මේක බරපතළ තත්ත්වයක්. මේ තත්ත්වයෙන් මිදෙන්න තමයි අපි දැන් නව ආරක්ෂිත රහස්‍ය ක‍්‍රම අනුගමනය කරන්නේ. ටෙන්ඩර් කැඳවීමේ දී ඒකාධිකාරය අහෝසි කරන්නේ” 

ව්‍යාජ ටිකට්පත් වෙළෙඳපොළට මුසු කිරීමේ ජාවාරම නිසා ලොතරැයි මණ්ඩලය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය බරපතළ ලෙස බිඳ වැටෙන බවත් මේ කුමන්ත‍්‍රණකාරී කි‍්‍රයාවලියට ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් සම්බන්ධ වීම නිසා ජාවාරම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයකු පැවසීය.

දයා නෙත්තසිංහ