බිරියගේ නිරුවත් සෙල්ෆි වැලක් සැමියට ඇවිත්

පිටස්තරයකු තම බිරියගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප සිය දුරකතනයට එවූ කතාවකට කිපුණු සැමියකු විදෙස් සේවය නිමවා නිවෙසට පැමිණි අවස්ථාවේම බිරියට පහර දීම නිසා සැමියාට නිවෙසට පැමිණි දිනම බිරියගේ පැමිණිල්ල මත පොලිස් අත්අඩංගුවට පත්වන්නට සිදුව ඇත.

මෙහිදී පැමිණිල්ල විභාග කළ අදාළ අංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් සැරයන් සංජීවනී ළමාහේවා (6019) මහත්මිය කළ ප්‍රශ්න කිරීම් අනුව 36 හැවිරිදි සැමියාගේ පිළිතුර වී ඇත්තේ තමන් දුක් මහන්සියෙන් විදෙස් ගතව සිය පවුල් ඒකකය ගොඩගැනීමට වෙර දරමින් සිටියදී දරුවන්ගේ මුහුණ බලා කතා බස් කිරීමට නවීන තාක්ෂණයෙන් යුතු දුරකතනයක් 34 හැවිරිදි බිරියට දුන් බවත්, කල්යත්ම බිරිය නිතර කතා කිරීම අඩු කළ බවත් ඒ අතරවාරයේ තමන් නොහඳුනනා ද්‍රවිඩ තරුණයකු තමන්ට කතාකොට බිරියට වෙනදා මෙන් කතා නොකිරීම පිළිබඳව ප්‍රශ්න කර සිටි බවත් නොබෝ දිනකින් තම බිරියගේ නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක් එකී තරුණයා තමන්ගේ දුරකතනයට එවූ බවත්ය. තවද එම තත්ත්වය යටතේ තම දරුවන් බිරිය සමඟ තනිකොට යෑම පවා අවදානම් තත්ත්වයක් නිසා නැවැත විදෙස් ගත නොවීමටද තීරණය කළ බැව් හැඬූ කඳුළින් පවසා ඇත.

පසුව බිරියගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ සිද්ධිය තමන්ගේ නොදැනුවත් භාවය නිසා සිදුවූවක් බවත් කිසිදිනෙක එම තරුණයා දැක නැති බවත් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට වූ පොරොන්දුව මත තමන් විසින් නිරුවත් සෙල්ෆි ඡායාරූප යැවූ බවත් පවසා ඇත.

කෙසේ වෙතත් බිරිය නිවැරැදි කර දෙන්නේ නම් තමන් එම වරදට සමාව දී නැවැත දරුවන් වෙනුවෙන් සමඟිව කටයුතු කිරීමට සැමියා එකඟ වූ බැවින් බිරියගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප සහිත මෙමරි පත පොලිස් භාරයට ගෙන මෙවැනි ග්‍රාමීයව හැදී වැඩෙන නවීන තාක්ෂණය යහපතට භාවිත කළ නොහැකි කාන්තාවන්ට එවන් අධි පහසුකම් සහිත දුරකතනවල අවශ්‍යතාවක් නැති බව පවසා මෙවැනි සිදුවීම්වලින් පන්නල පොලිස් වසමේ කාන්තාවන්ට අත්ව ඇති ඉරණම මෙන්ම පසුගිය දිනවල දැඩි ආන්දෝලනයට ලක්වූ කාන්තාවකගේ ලිංගික ප්‍රදේශය සපා කෑ සිදුවීම වැනි සිදුවීම් බොහෝමයක් ගෙනහැරපාමින් කාන්තාවන්ගේ නොදැනුවත්භාවය හා නොසැලකිල්ල මෙවැනි ප්‍රශ්න නිර්මාණය කරන බවත් පැවසූ පොලිසිය දෙදෙනාටම දැඩි සේ අවවාද කොට බිරිය විසින් සැමියාට වැඳ සමාව ගත් පසු බිඳුණු පවුල එක්කොට පිටත් කර හැරිණි.