දුම්රිය පීල්ලක හිස තියාගෙන නිදාගෙන!

රාජකාරි නිමවී මිතුරන් සමඟ සාදයකට එක්වී මහ රෑ නිවෙසට පැමිණ බිරිය සමඟ රණ්ඩු වී වෙරි මරගාතේ දුම්රිය මාර්ගයේ නිදා සිටි සිවිල් ආරක්ෂක භටයකු ඉකුත් 02දා අලුයම මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටී මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.


මෙසේ මියගොස් ඇත්තේ වැලිකන්ද, රිදීපොකුණ සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ සම්මු ගයාන් උපුල් සිල්වා (28) නම් එක්දරු පියෙකි.

මොහු ඉකුත්දා (01දා) රිදීපොකුණ සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේ රාජකාරි කර සේවා මුරය අවසන් කොට සිය මිතුරන් සමඟ සාදයකට සහභාගි වී රාත්‍රි 11.30ට පමණ මනම්පිටිය මාගංතොට නිවෙසට පැමිණ බිරියත් සමඟ ඇති කරගත් වචන හුවමාරුවක් නිසා රාත්‍රි නිදාගැනීමට අසල තිබූ දුම්රිය මාර්ගයට ගොස් තිබේ. හොඳටම සූර් වී සිටි මෙම පුද්ගලයා දුම්රිය පීල්ලක හිස තබා නිදාගෙන සිට ඇත. තද නින්දට වැටුණු මෙම පුද්ගලයා අලුයම මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වන 2.35 දුම්රියට යටවී තිබේ. හිස සහ අතක් කඳින් වෙන්වී තිබුණු සිරුර 02දා උදෑසන 07.00ට පමණ ගම්මුන් විසින් දැක ඇත.


සිද්ධිය නිසා කොළඹ බලා ධාවනය වූ දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාද වූ බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ සිදුකරයි.