සෝභිත හිමියන් හෙළ උරුම නායකත්වයෙන් ඉවත්වෙයි

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් ඉවත් වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ දී දැන් පැවැත්වෙන එම පක්ෂයේ 13 වන සමුළුව අමතමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව කියා සිටියා.කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය වෙනුවෙන් තවදුරටත් කැපවීමෙන් කටයුතු කරන බව ද උන්වහන්සේ මෙහි දී කියා සිටියා.
මේ අතර ජාතික හෙළ උරුමයේ නව නිළධාරින් මණ්ඩලය ද අද දිනයේ පත් කර ගැනිණ.

ඒ අනූව එම පක්ෂයේ සම සභාපතිවරුන් ලෙස පැවිදි පාර්ශවයෙන් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ ගිහි පාර්ශවයෙන් නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාණ මහතා පත් කර ගෙන තිබේ.

නියෝජ්‍ය සභාපති ලෙස බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි නිරෝෂා අතුකෝරාල මහත්මිය පත්කර ගෙන ඇත.

මහලේකම්වරයා ලෙස අමාත්‍ය පඨලී චම්පික රණවක මහතා පත් කර ගෙන ඇති අතර නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා පත් කර ගෙන ඇති බව සඳහන්ය.

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා ලෙස තේරි පත්වී ඇත්තේ බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාය.