ප්‍රභාකරන් මරාදැමූ බව කී විට ෆොන්සේකා බැණවැදුණු හැටි

කුරිරු LTTE ත්‍රස්තයින් සමග පැවැති නිමාවූ යුද්ධය ආශ්‍රිත සත්‍ය සිදුවීම් ඇතුලත්කොට විශ්‍රාමලත් යුධ හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචනා කළ "රණමග ඔස්සේ නන්දිකඩාල්" කෘතිය මේවන විට දෙස් විදෙස් අවධානයට පාත්‍ර වී තිබෙනවා.

මෙම ග්‍රන්ථයට මෙවැනි වූ ප්‍රතිචාරයක් ලැබීමට විශේෂයෙන් හේතු වූයේ LTTE නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය පිළිබඳ සත්‍ය කතාව මෙහි අන්තර්ගත බව පැවසෙන බැවින්.

"රණමග ඔස්සේ නන්දිකඩාල්" කෘතියෙහි 834 සහ 836 පිටුවල යුද්ධය හා සම්බන්ධ විශේෂ සිදුවීම් මාලාවක් පිළිබඳ සඳහන් වෙනවා.

ප්‍රභාකරන් ඝාතනය කළ මොහොතේ කමල් ගුණරත්න මේජර් ජෙනරාල්වරයා යුද හමුදාපතිවරයාට දුන් දුරකතන ඇමතුමයි එහි සටහන් කොට ඇත්තේ.

එම කොටස පහතින්.

තවත් විනාඩි දහයකට පමණ පසුව යුද හමුදාපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට මා හට හැකි වූයෙන් මා මෙතෙක් කල් මගේ ජීවිතයේ දෙන ලද සතුටුදායකම දුරකථන ඇමතුම ඒ අවස්ථාවේ දුන්නෙමි.

“Sir, Happy news (සර්, සතුටුදායක ප්‍රවෘත්තියක්) යනුවෙන් මා ප්‍රකාශ කළ විට “What Kamal?” (මොකක්ද කමල්?)” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

“සර් මහ එකා ඉවරයි” යනුවෙන් මා කී විට ඔහු “මොකක්?” යනුවෙන් නැවතත් ප්‍රශ්න කළේය.

“Sir, we killed prabhakaran” (සර් අපි ප්‍රභාකරන්ව මරා දැම්මා)” යනුවෙන් මා කී විට එම ප්‍රවෘත්තිය අදහාගත නොහැකි වූ ඔහු “What?” (මොකක්ද?) යනුවෙන් ප්‍රශ්න කළේය.

මේ අවස්ථාවේ ඇති වූ දෙබස මෙහිදී එලෙසම ඉදිරිපත් කළහොත් මෙය කියවන අයට එය වඩාත් රසවත් වනු ඇතැයි මා සිතන නිසා එය ඒ ලෙසින්ම ඉදිරිපත් කරමි.

“Sir, we killed prabhakaran”

(සර්, අපි ප්‍රභාකරන්ව මරා දැම්මා)

තත්පර 30ක් පමණ නිශ්ශබ්දව සිටි ඔහු, මා ලලන්ත ගමගේගෙන් ඇසූ පරිදිම,

“Sure”

(සහතිකද?)

“Yes, Sir”

(ඔව් සර්)

නැවතත් තත්පර 30ක් පමණ නිශ්ශබ්තාවකින් පසු ඔහු,

“How do you know it is Prabhakaran”

(කොහොමද ඔබ දන්නෙ ඔහු ප්‍රභාකරන් කියලා?)

“Sir, I have the dead body with me”

(සර්, මාගේ ළඟ ඔහුගේ මළ මිනිය තියෙනවා)

“Okay, you have a dead body, but how do you know it is Prabhakaran’s body”

“හරි, ඔබ ළඟ මිනියක් තියෙනවා. ඒත් කොහොමද දන්නෙ ඒක ප්‍රභාකරන්ගේම මිනිය කියලා?”

“Sir, please believe my word. This is Prabhakaran. Even a grade 4 child will identify this man. This is Prabhakaran. Sir, Please give the good news to secretary defence and president.”

(සර්, කරුණාකරලා මගේ වචනය විශ්වාස කරන්න. මේ තමයි ප්‍රභාකරන්. ඉස්කෝ‍ලේ හතරේ පන්තියේ ඉන්න ළමයෙක් වුණත් හඳුනාගෙන කියයි මේ ප්‍රභාකරන් කියලා. සර්, කරුණාකරලා මෙම සතුටුදායක ප්‍රවෘත්තිය ජනාධිපතිවරයාටත් ආරක්ෂක ‍ලේකම්වරයාටත් දෙන්න.)

“Hmm, don’t tell this to anyone, until I tell you.”

(හ්ම්, මම කියනකන් මේ ගැන කිසිවෙකුටවත් කියන්න එපා)

යුද හමුදාපතිවරයා මෙම ප්‍රවෘත්තිය ඔවුනට දීමට කලින් මා ආරක්ෂක ‍ලේකම්වරයාට එය දන්වනු ඇතැයි ඔහුට සිතුණා විය හැකිය.

එහෙත් මා විනය ගරුක යුද හමුදා නිලධාරියකු ලෙස එවැනි දෙයක් කිරීමට මාගේ සිතකවත් තිබුණේ නැත.

ආරක්ෂක ‍ලේකම්වරයා මා තරුණ නිලධාරියකු සමයේ මාගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියාව සිටි බැවින් ඔහු කෙරේ ඉතා ගෞරව සම්පන්න හිතවත්කමක් මා තුළ තිබුණද මෙම අතිශයින්ම ප්‍රීතිජනක මොහොතේ වුවද යුද හමුදාපතිවරයා අබිබවා යමින් මෙම ප්‍රවෘත්තිය ආරක්ෂක ‍ලේකම්වරයාට දීමට මා උත්සාහ කළේ නැත.

තවත් විනාඩි 5-10ක් පමණ යන විට නැවතත් යුද්ද හමුදාපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

සිංහල භාෂාවෙන් කතා කළ ඔහු සහ මා අතර ඇති වූ දුරකථන සංවාදය මෙහිදීද එලෙසම ඉදිරිපත් කිරීමට මා කල්පනා කළෙමි.

“කමල්, දැන් ඔය යකා කොහේද හිටියේ?”

“සර් කඩොල් කැ‍ලේ.”

“දැන් ඊයේ සවස කඩොල් කැ‍ලේ පරීක්ෂා කරලා ඉවර වෙලා මට කිව්වා නේද ඔක්කෝම ඉවරයි. හැම බිම් අඟලක්ම අල්ලා ගත්තා කියලා.”

“ඔව් සර්”

“ඒකේ හිටපු ඔක්කෝම කොටි ඉවරයි කියලත් කිව්වා නේද?”

“ඔව් සර්”

“එහෙනම් මේකා හිටියේ කොහේද?”

“සර්, කඩොල් කැ‍ලේ, ඊයේ අපිට මේකව මිස් වෙලා.”

“එහෙම මිස් වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ඔබලා වැඩේ හරියට කරලා නැහැ.”

“සර් කළුවර වැටුණු නිසා මිස් වෙන්න ඇති.”

“ඔබ වැඩේ හරියට කරලා නැහැ. හරියට කළා නම් මිස් වෙන්න විදිහක් නැහැ. ඕකා පැන්නා නම් මොකද වෙන්නෙ?”

“සර් පැන්නා නම් යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ. ඒත් පැන්නෙ නැහැනේ. අපි මේකව මරලා දැම්මානේ සර්”

“මරලා දාපු එක ඇත්ත. ඒත් ඕකා පැන්නා නම්? වැඩේ කරන්න විශ්වාසය ඇතිව භාර දුන්නට වැඩේ හරියට කළේ නැහැ.”

“සර් පැන්නා නම් අප්සෙට් තමයි. ඒත් මේකාට පනින්න ලැබුණේ නැහැ. අපි මේකව පනින්න ඉස්සෙල්ලා මැරුවානේ සර්.”

“මැරුව එක ඇත්ත. ඒත් පැන්නා නම්?”

“පැන්නෙ නැහැනේ සර්. අපි මේකව මැරුවනේ. දැන් මේකා මැරිලා මිනිය මගේ ළඟ තියෙනවනේ.”

ඒ සමගම කෝපය ඉහවහා ගිය ඔහු මා හට තදින් දෝෂාරෝපණය කරන්නට වූ අතර එය මාගේ යුද්ධ හමුදා ජීවිතය තුළදී ඔහු මා හට තදින් බැණ වැදුණු දෙවන අවස්ථාව විය.

මුළු රටම බලා සිටි ප්‍රභාකරන්ගේ මරණය සිදුකිරීමෙන් පසුව යුද හමුදාපතිවරයාගෙන් බැණුම් අසන මා ගැන මටම මහත් අනුකම්පාවක් මෙන්ම කලකිරීමක් ඇති විය.

මා සියල්ල අසාගෙන නිශ්ශබ්දව සිටියෙමි.

ඉන්පසු නැවතත් ප්‍රශ්න කිරීම් ඇරඹූ ඔහු,

“දැන් ඕකා තනියම නොවෙයිනේ ඉන්න ඇත්තේ? තව 7-8 දෙනෙක්වත් ඉන්න ඇතිනේ?”

“ඊට වඩා හිටියා සර්”

“කීයක්ද 10-15ක්?”

“නැහැ සර් ඔක්කෝම 52ක් හිටියා. මේකත් එක්ක ඩෙඩ් බොඩීස් 52ක් එකතු කළා දැනට.”

“Whattt? Fifty two buggers have escaped yesterday?”

“Yes sir, but we got all of them and all of them are dead now”

“ඔහොමද ඔච්චර ලොකු වගකීමක් දුන්නහම වැඩ කරන්නේ?” යනුවෙන් නැවතත් සිය බැණුම් ආරම්භ කළ ඔහු නැවතත් මා හට බැණ වැදීමට පටන් ගත්තේය.

තවදුරටත් නිදහසට කරුණු දැක්වීමට යාමෙන් ඔහු තව තවත් කෝපවන බව දැන සිටි මා එතෙක් තිබූ ඉහවහා ගිය ප්‍රීතිය වෙනුවට හදවත පුරවාගත් මහා කලකිරීමකින් යුතුව සියල්ල අසා සිටියෙමි.

එහෙත් ඔහු සාමාන්‍යයෙන් කෙනෙකුට තදින් බැණ වැදීමේදී භාවිත කරනා වචන සමූහය මා වෙත එල්ල නොකිරීම ගැන සතුටු වූයෙමි.

- "රණ මග ඔස්සේ නන්දිකඩාල්" කෘතිය, 834-836 පිටු -