ඉලෙක්ට්‍රොනික දුම්රිය ප්‍රවේශ පත්‍රයක්

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

ඒ අනුව එක් දුම්රිය ස්ථානයකට ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර දෙක බැගින් ලබා දීමට සැලසුම් කර ඇති බවත් එමඟින් දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට හැකි වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා පැවැසුවේ දැනට භාවිත කරන ප්‍රවේශපත්‍ර හිඟයක් ඇතිවන අවස්ථාවන්වලදී දුම්රිය කාර්ය මණ්ඩලයට අතින් ලියූ ප්‍රවේශ පත්‍ර ලබා දීමට සිදුවීම අපහසු කාර්යයක් වන නිසා ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර යෙදවීම මඟින් එම අපහසුතාව මඟහරවා ගත හැකි වන බවයි.

එක් දුම්රිය ස්ථානයකට ලබාදීමට නියමිත එක් යන්ත්‍රයකින් දුම්රිය කාර්ය මණ්ඩලය හරහා මගීන්ට ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි බවත් අනෙක් යන්ත්‍රයෙන් මගීන්ටම මුදල් යොමු කර අදාළ ප්‍රවේශපත්‍ර ලබාගත හැකි වන බවත් ඒ මහතා සඳහන් කෙළේය.
ඒ අනුව නව ක්‍රමය යටතේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මාස හයකින් පමණ ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.