දියවැඩියාව දුරලන විස්මිත කාමරංගා



දියවැඩියා රෝගීන්ට ද ඉතා හොඳ පලතුරකි. කාමරංගාවල අන්තර්ගත සුවිශේෂ ලවණ වර්ගවලට දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට හැකියාවක් ඇත. තවද මෙහි සීනි හා පිෂ්ඨධාතු අන්තර්ගත වන්නේ ඉතා අඩුවෙනි. එසේ වුවද දියවැඩියා රෝගීන් කෙරෙහි පැණි රසැති කාමරංගාවලට වඩා ඇඹුල් රසැති කාමරංගා වඩා ක්‍රියාශීලී වන බවද කිව යුතුය.

එදිනෙදා අප ගන්නා පලතුරු අතරින් කාමරංගාවලට සුවශේෂ ස්ථානයක් හිමි වේ. පිලිපීනය, මැ‍ලේසියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව ආදී ආසියානු රටවල් නිජබිම කරගත් කාමරංගා උද්භිද විද්‍යාත්මකව Avarrhoa carambola ලෙසින් හඳුන්වනු ලබන Oxalidaceae කුලයට අයත් වේ. විශේෂයෙන් පුරුෂයන්ගේ කාම ශක්තිය උපදවන බැවින් කාමරංගා යන නම යෙදී ඇතැයි ද පැවසේ.

වර්තමානයේ පරිසරයෙන් අපට බෝවන හා බෝ නොවන රෝග බොහෝමයකට මුහුණ දෙන්නට සිදුව තිබේ. දියවැඩියාව, පිළිකා, අධිරුධිර පීඩනය, රක්ත හීනතාව ආදී බොහෝ රෝගවලින් අප සමාජය පීඩාවට පත්වී අවසානය. මේවායින් ගැලවීම සඳහා බටහිර හෝ දේශීය ඖෂධ හඹා යෑම පුරුද්දක් බවට පත්ව ඇත. එසේත් නැතිනම් ශරීරයේ නිරෝගීකම රැක ගැනීමට බොහෝ ජීව පදාර්ථ (විටමින්) ඛනිජ ලවණ ආදිය පෙති, කරල් වශයෙන් හෝ වෙළෙඳ‍පොළේ ඇති ආහාර අතිරේකයන් මගින් හෝ ලබා ගැනීමට පුරුදු වී සිටිමු. නමුත් මෙම ඛනිජ ලවණ ජීව පදාර්ථ ආදිය කුඩා නැවුම් පලතුරු ගෙඩියක අන්තර්ගතව ඇති බව දන්නේ කීයෙන් කී දෙනාද? ශරීරයට අවැසි බොහෝ ‍පෝෂණ පදාර්ථයන් ලබා දෙන මහඟු පලතුරකි කාමරංගා.

කාමරංගා වර්ග දෙකක් හඳුනාගෙන තිබේ. එක් වර්ගයක් ඉතාමත් ඇඹුල්ය. හෙවත් ආම්ලික රසයෙන් යුක්තය. අනෙක මධුර රසැති වර්ගයකි. ප්‍රභේද දෙකෙහිම ‍පෝෂ්‍ය සංඝටකයන් එක හා සමාන වුවද ඇඹුල් රසැති කාමරංගා පැණි රසැති කාමරංගාවලට වඩා ක්‍රියාකාරිත්වයෙන් වැඩි බව දැනගත හැකිය. අද ලෝකයේ රටවල් බොහොමයක කාමරංගා සඳහා විශාල ඉල්ලුමක් පවතී. මැ‍ලේසියාව වැනි රටවල එය වාණිජව වගා කරන ප්‍රධාන පලතුරකි.

දේශීය චිකිත්සාවේදී ද කාමරංගා විවිධ ලෙඩ රෝග සඳහා භාවිත කෙරෙයි. උදාහරණයක් ලෙස දරුණු කැපුම් තුවාලවලදී විෂ ඉවත්කරලීම සඳහා කාමරංගා මහඟු ඖෂධයක් වෙයි. එසේම රක්ත අර්ශස් සුව කිරීම සඳහා ද පැරණි වෛද්‍යවරු කාමරංගා යොදා ගත්හ. කුඩා දරුවන්ගේ සිට මහල්ලා දක්වා සෑම දෙනාම බෙහෙවින් රුචි කරන පලතුරක් වන කාමරංගා ආහාර රුචිය වැඩි කරන පලතුරක් ලෙසද හැඳින්විය හැකිය. කාමරංගා ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය තත්ත්වය යහපත් කර ගත හැකි බව පැරැන්නෝ දැන සිටියහ.

තරබාරුව අද ‍පොදු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. මේ නිසාම සමහරුන්ට පලතුරු ආහාර කර ගැනීම ද ගැටලුකාරී වී ඇත. කාමරංගාවල වැඩිපුර ඇත්තේ ජලයයි. එය 90ක් තරම් වේ යැයි ‍පෝෂණවේදීහු පවසති. මෙහි කැලරි අඩුය. තන්තු වැඩිය. එහෙයින් එය තරබාරු අයට බර අඩුකර ගැනීමට උපකාරි වන මහඟු පලතුරකි. එසේම කාමරංගාවල මේදය නැත.

කාමරංගාවල ඇති සුවිශේෂ ගුණයක් වනුයේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය දියුණු කිරීමට ඊට ඇති හැකියාවයි. කෑම අරුචිය ඇති අයට කෑම රුචිය ඇතිකරන පලතුරක් ලෙස ද ජනප්‍රියය. තවද කාමරංගා ආහාරයට ගැනීමෙන් මහාන්ත්‍රයේ ඇතිවන පිළිකා තත්ත්වයන් අවම කර ගත හැකිය. පිළිකා පැතිරීම අවම කිරීමටද කාමරංගාවලට හැකි බව නූතන විදුහුරු මතය වේ.

විශේෂයෙන් ගුද මාර්ගය අභ්‍යන්තරයේ ඇතිවන අර්ශස් ගෙඩි සඳහා ප්‍රතිකාරවලටද කාමරංගා යෙදා ගැනේ. තවද කාමරංගා පලතුරක් ලෙස ආහාරයට ගැනීමෙන් මලබද්ධය දුරුකර ගත හැකිය.

දියවැඩියා රෝගීන්ට ද ඉතා හොඳ පලතුරකි. කාමරංගාවල අන්තර්ගත සුවිශේෂ ලවණ වර්ගවලට දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට හැකියාවක් ඇත. තවද මෙහි සීනි හා පිෂ්ඨධාතු අන්තර්ගත වන්නේ ඉතා අඩුවෙනි. එසේ වුවද දියවැඩියා රෝගීන් කෙරෙහි පැණි රසැති කාමරංගාවලට වඩා ඇඹුල් රසැති කාමරංගා වඩා ක්‍රියාශීලී වන බවද කිව යුතුය.

බොහෝ ආහාර හා පලතුරු මගින් විවිධ රෝග පාලනය කරගත හැකි බව ප්‍රකට කරුණකි. විශේෂයෙන් හෘදයේ දුර්වලතාවන් නිසා පැන නැගෙන අධිරුධිර පීඩනය පාලනය කිරීමට කාමරංගාවලට හැකියාව ඇත. අධිරුධිර පීඩනය ඇති රෝගීන් කාමරංගා ගෙඩියක් ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය පාලනය කර ගත හැකිය. විශේෂයෙන් හෘදයේ පේශීන්හි ඇතිවන විකෘතිතා නැති කර ඒවායේ ක්‍රියාකාරිත්වය යහපත් කිරීමට කාමරංගාවලට හැකියාව ඇත.

කාමරංගාවල ඇති ජීව පදාර්ථ අතරින් ආම්ලිකතාව එසේත් නැතිනම් විටමින් ඛි ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගනී. කාමරංගා ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ෙදෙනිකව විටමන් ඛි අවශ්‍යතාවෙන් 25ක් 30 අතර ප්‍රමාණයක් සපුරා ගත හැකිවේ. එය සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි බෝවන රෝගවලට ද හොඳ ප්‍රතිකාරකයකි. එසේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිකිරීමට ද කාමරංගාවලට සුවිශේෂ හැකියාවක් ඇත. එබැවින් කුඩා දරුවන්ගේ සිට මහල්ලා දක්වා රෝගවලින් ආරක්ෂා කර ගැනීමට කාමරංගා ආහාරයට දීම ඉතා යෝග්‍ය වේ. තවද, යකඩ ඌනතාවෙන් පෙළෙන අයටද ඉතා හොඳ පලතුරකි. අප ගන්නා ආහාරවල යකඩ අවශෝෂණය කරවීමට කාමරංගාවලට හැකියාව ඇති අතර කාමරංගාවලද යම් සුළු ප්‍රමාණයක් යකඩ අඩංගු බව පැවසේ.

සුව නින්දක් නොලැබිම බොහෝ අයට ඇති ප්‍රශ්නයකි. කාමරංගා ආහාරයට ගැනීමෙන් සුව නින්දක් ලබා ගත හැකි වේ. ශරීරයේ ඉදිමුම අඩු කිරීමටත් පේශීන් හා පටකවල තුවාල සුව කිරීමටත් කාමරංගාවලට හැකියාව තිබේ.
ශරීරයේ විජලනය වළක්වා ගැනීමටද කාමරංගා හොඳ පලතුරකි. මන්ද යත් පලතුරක් ලෙස වැඩි ජල ප්‍රතිශතයක් අඩංගු බැවිනි. කාමරංගා සම පැහැපත් කරන අතර සමේ ඇතිවන ආසාදන ද වළක්වයි.

කාමරංගාවල ඇති තවත් ගුණයක් වනුයේ එය කිරිදෙන මව්වරුන්ට හිතකර වීමය. මවුවරුන්ගේ කිරි වර්ධනය කරවීමට කාමරංගාවලට හැකියාව ඇත. ආහාරයට ගැනීමෙන් විකෘති දරු උපත් වළක්වා ගැනීමට මෙන්ම දරුපල ප්‍රමාදය වළක්වා ගැනීමට ද කාමරංගා මහගු ඔසුවකි. මේ හේතුවෙන් එය තරුණ කාන්තාවන්ට මහත් ඵලදායී වේ. කාම ශක්තිය දුර්වල අයට ද විශේෂයෙන් යහපත්ය. පෙර කී ලෙසට මෙයට කාමරංගා යන නම පැටබැඳී ඇත්තේ ද එහි ඇති කාමය උද්දීපනය කරන්නාවූ ගුණය නිසා විය යුතුය.

අප ආහාරයට ගත යුත්තේ කුමන වර්ගයේ කාමරංගාද යන්න දැන ගත යුතුවේ. එය ගුණදායී වන්නේ හොඳින් ඉදුණ පසුවය. එවිට එය තැඹිලි පාටින් යුතු කහ පැහැයක් ගනී. බාගෙට ඉදුණ හෝ අමු කාමරංගා ආහාරයට එතරම් යෝග්‍ය නොවේ. එසේම ඇඹුල් රසැති කාමරංගා අම්ල පිත්තය (ගැස්ට්‍රික්) ඇති රෝගීන්ට යහපත් නැත. මධුර රසැති කාමරංගා කුඩා දරුවන්ට ගුණදායකය.

දරුවෝ ද මහත් රුචියෙන් ඒවා ආහාරයට ගනිති. කුඩා දරුවන්ගේ දත්වල මැලියම් හෝ කහට යැවීමට කාමරංගා සැපීමට දිය හැකිය.

පෙර කී පරිදි අම්ල පිත්තය ඇති රෝගීන්ට කාමරංගා අහිතකරයි. විශේෂයෙන් වකුගඩු රෝගීන්ට ඉතාමත් අහිතකරය. මූත්‍රා ගල්, මූත්‍රාශය ආශ්‍රිත රෝග ඇති අයට ගුණදායක නොවන අතර එවැනි රෝගීන් කාමරංගා ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතුය. වේදනා නාශක ඖෂධ ගන්නා අයටද අයහපත්ය.

කාමරංගා ආහාරයට ගැනීමේදී එහි ඇති මැද නාරටි කොටස ඉවත් කිරීමට අප පැරැන්නෝ දැන සිටියහ. ඒ එහි යම් විසක් ඇතිනම් එහි නාරටිය කොටසේ ඇතැයි යන විශ්වාසය නිසාය. කාමරංගාවලින් ජෑම්, ජෙලි, බිම වර්ග සෑදිය හැකි අතර ගැමියෝ පැසුණු කාමරංගාවලින් ව්‍යංජන ද සකසා ගනිති. ව්‍යංජන සකසා ගැනීමේ දී කාමරංගා පෙති කපා ලුණුවතුරට දමා මිරිකා ගෙන කිරට සිඳුවා ගැනීම සිරිතය.

අමු කාමරංගා අධිකව ආහාරයට ගැනීමෙන් මූත්‍රා දැවිල්ල ඇතිවිය හැකිය. තවද කාමරංගා පමණ දැන ඉතා කුඩා ප්‍රමාණයකින් ආහාරයට ගත යුතුය. අධිකව ආහාරයට ගැනීමෙන් මූත්‍රා දැවිල්ල, කරකැවිල්ල, මත් ගතිය, අධික නිදිමත ඇතිවිය හැකිවේ.

ගැමි ජනතාව කාමරංගා ගෙඩි මල බැඳුණු උපකරණවල මල ඉවත් කිරීමට මෙන්ම රෙදිවල කහට පැල්ලම් ඉවත් කිරීමට ද යොදා ගනිති. බොහෝ විට එය පිරිසිදු කිරීමේ කටයුතුවලදී ද යොදා ගැනෙයි. තවද ගෘහාලංකාරය සඳහා විශේෂය.

එදිනෙදා ජීවිතයේදී අප ගන්නා බොහෝ වස විස යෙදූ පලතුරුවලට වඩා සිය දහස් ගුණයක් හොඳ මෙවැනි පලතුරු අප රෝගවලින් ආරක්ෂා කරනවා මෙන්ම විවිධ ලෙඩ රෝග පාලනය ද කරයි. පලතුරු වුවද අධිකව නොගෙන තමාගේ රෝග තත්ත්වයට ගැළපෙන පරිදි ගැනීම යෝග්‍ය වේ. උදාහරණයක් ලෙස කාමරංගා දියවැඩියා රෝගීන්ට ගුණ වුවද වකුගඩු ආබාධයන් ඇති අයට හිතකර නොවේ. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියන්නා සේ පලතුරු වුවද දැනගෙන ප්‍රමාණාත්මකව ආහාරයට ගත යුතුය. එසේ නොමැති වුවහොත් කොතරම් රෝගවලට ගුණ පලතුරක් වුවත් අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකිය. පිළිකාව, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග සඳහා මහඟු පලතුරක් වන කාමරංගා දැන ආහාරයට ගෙන නිරෝගී වෙමු.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය