රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත අත්හිටුවයි

බීමත්ව නොසැලකිලිමත්ව රිය ධාවනය කිරීම ඇතුළු චෝදනා 5ක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් ලක්ෂාන් බණ්ඩාර රඹුක්වැල්ල මහතාට ලබන මස 18 වන දින දක්වා රිය පැදවීම සම්පූර්ණයෙන් තහනම් කළ කොළඹ රථවාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (27) නියෝග කෙළේය. 

පොලිස් ඇප මත සිටි නො 51/04, පුෂ්පදාන මාවත, මහනුවර පදිංචි රමිත් ලක්ෂාන් බණ්ඩාර රඹුක්වැල්ල මහතාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය ‍විසින් චෝදනා 5ක් යටතේ ඊයේ (27) පැමිණිල්ලක් ගොනු කරනු ලැබිණ. 

මෝටර් රථ ප්‍රවාහන පනතේ වගන්ති ප්‍රකාරව නොසැලකිලිමත් රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය ධාවනය, වාහනය ලියාපදිංචි ‍නොකර ධාවනය කිරීම හා ව්‍යාජ අංක තහඩුවක් සහිත ධාවනය කිරීම යන චෝදනා ගොනු කර තිබූ අතර 1 /2 හා 4 චෝදනා සම්බන්ධව වරද පිළිගත් රමිත් රඹුක්වැල්ල මහතා චෝදනා 2කට නිවැරැදිකරු බවට පවසා සිටියේය. 

බීමත්ව සිටි බවට වෛද්‍ය වාර්තා හා ව්‍යාජ අංක තහඩු සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වාර්තා ඇති බවට කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැන්වීය. කොල්ලුපිටිය ප්‍රදේශයේදී 2016/1/14 දින රියදුරු බලපත්‍ර නොමැතිව මෙම වාහනයම ධාවනය කිරීමේ වරදට මේ අධිකරණය මඟින් රමිත් රඹුක්වැල්ල මහතාට රුපියල් 9000ක දඩයක් නියම කර ඇති බවත් එය ඔහුට ඇති පෙර වරදක් බවට ද කුරුඳුවත්ත පොලිසියේ එල්.එච්.ඩී. කේ. ඉද්දගොඩ මහතා අධිකරණය හමුවේ පැවසීය.

තවද මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු බැවින් නැවත සොයාගැනීමේ අපහසුතාවයක් ද ඇතිවන හෙයින් සුදුසු ඇප නියෝගයක් ලබාදෙන ලෙසටද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රමාණවත් ඇපකරුවෙකු ඉදිරිපත් කිරීමට ලබන මස 18 වන දින යළි පැමිණිල්ල කැඳවීමට නියම කරමින් එතෙක් ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියම කළේය. 

ඉකුත් 22 වන දින නන්දා මෝටස් හන්දියේදී wpc - 4858 දරන රථයෙන් ගමන් කරමින් සිටි රමිත් රඹුක්වැල්ල මහතා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාම තාප්පයකට හානි පමුණුවමින් මෙම අනතුර සිදු කර තිබිණ.