සුසාන භූමිය කැලණි ගඟට සේදිලා


කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි කොහිලවත්ත පොදු සුසාන භූමිය වසර පහළොවකට අධික කාලයක සිට කැලණි ගඟට සේදී යාමට පටන් ගෙන තිබූ අතර එය මෙවර කැලණි ග‍ඟේ ජල ගැලීමත් සමග එම භූමියෙන්අඩකටත් වඩා වැඩි කොටසක් ගඟටම සේදී ගිය බව ප්‍රදේශවාසීහු කියති.

මේ තත්ත්වය නිසා එම සුසාන භූමියට භූමදාන කිරීම පිණිස මෘත දේහ රැගෙන එන ඥාතින්ට මෙන්ම ඔවුන්ගේ හිතවතුන්ටද බලවත් තර්ජනයකට මුහුණ පාන්නට සිදුව ඇති අතර තද වැසි සහිත දිනවලදී මේ සුසාන භූමියේ ගං ඉවුර දෙසට ඇති පිපිරී ඉරිතැලී ගිය ස්ථානවලට යාම පවා අවදානම් බවද ඔවූහු කියති.

එම හේතුවෙන් මේ සුසාන භූමියේ තැන් තැන්වල මිනී හිස් කබල් හා මිනිස් සිරුරුවල ඇට කටු ද දක්නට ලැබෙන අතර ගඟට කැඩීගිය පස් තට්ටු මත මෘතදේහ මිහිදන් කළ මිනි පෙට්ටිවල රෙදි කැබලි ආදී සුන්බුන්ද සිරවී තිබෙන අයුරු දැකීමට හැකිය. මේ තත්ත්වය මළවුන්ට පවා සිදුවන සිදුවන නිගාවක් යැයි ජනතාව කනගාටුව පළ කරති.

බ්‍රැණ්ඩියාවත්තේ පදිංචි රත්නසිරි පෙරේරා මහතා- කොළඹ අඹතලේ පාරේ කොට්ටන් ගහ තොටුපොළ ආසන්නයේ තිබෙන මේ සුසාන භූමිය කොහිලවත්තට පමණක් නොවෙයි වෙන්නවත්ත, බ්‍රැණ්ඩියාවත්ත, කොටුවිල, සේදවත්ත, වෙලේවත්ත, කිත්තම්පහුව,කැලණිමුල්ල,හල්මුල්ල කටුපැලැල්ලවත්ත ආදී ප්‍රදේශවල ජනතාවට ඇති එකම පොදු සුසාන භුමිය මෙයයි. මේ නිසා කුමන අයුරකින් හෝ ගං ඉවුරට ගල් වැටියක් දමා පස් ගොඩකර නැවත යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම මේ සුසාන භුමියට විශාල අඩුපාඩුවක්ව පවතින ආදාහනාගාරයක් ඉදිකර දීම බලධාරීන්ගේ වගකීමක්.

සටහන සහ ඡායාරූප කොලොන්නාව සමුහ ඒ. සුමනසේන