වීරවංශලාගේ රථගාය බී වාර්තාවෙන් හෙළිවේ

මහින්ද රාජපක්ෂ පාලනය තුල වාහන අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවන් බොහෝ පිරිසක් ඇති අතර ඒ අතර වීරවංශලා ප්‍රමුඛස්ථානයක් ගනී. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බණ්දනාගාර ගතකරන ලද සරත් වීරවංශ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ බී වාර්තාවෙන් මේ පිළිබද කරුණු රැසක් අනාවරණය වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ජාතික නිදහස් පෙරමුණට වාහන විශාල ප්‍රමාණයක් ලබා දී ඇති අතර සරත් වීරවංශද එසේ වාහන ලබා ගත් එක් තැනැත්තෙකි. ඔහු ලබාගත් වාහන සදහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වාහන කුලියට ගත් ආයතනයට 84,75,000ක මුදලක් ලබා දී ඇති බවද අනාවරණය වේ.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස එම තනතුරේ රාජකාරී කටයුතු සදහා 65-1695 දරන වාහනයද අනතුරුව KT-5335 දරණ වාහනයද 2015-01-08වන දින දක්වා පාවිච්චි කර ඇති බව විමර්ශන තුලින් අනාවරණය වී ඇත.

මීට අමතරව විමල් වීරවංශයේ පුද්ගලික ලේකම් ලෙස HU-9099 දරණ වාහනයද ඔහුගේ නිළ රථයද භාවිතා කර ඇත. එම වාහනය භාවිතා කිරීමට පෙර අමාත්‍යංශය මගින් නිළ රථය ලෙස 300-6294 දරණ වාහනය ලබා දී තිබූ බවත් එය ධාවනයට නුසුදුසු බව අගවමින් ඉවත් කර ඇත. සරත් වීරවංශ පුද්ගලික ලේකම් දූරය දැරූ කාලය සදහා ඔහුගේ පෞද්ගලික වාහනය පාවිච්චි කරන බවට අගවා ප්‍රවාහන දීමනා වශයෙන් 637,741.93ක මුදලක්ද ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 1,008,890.32 ක මුදලක්ද ඔහු විසින් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

මේ අනුව සරත් වීරවංශ විසින් අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස රජයේ තනතුරක් දරමින් රාජ්‍ය පරිපාලන චක්‍ර‍ලේඛ අංක 14/2008 ට පටහැනිව කටයුතු කර ඇති බව තහවුරු වේ. ඒ අනුව මෙම ධූර දරන කාලය තුල රුපියල් 16,46,632.25ක මුදලක් ලබාගැනීම තුල මුදල් වංචාවක් කර ඇති බවට කරුණු අනාවරණය වේ.

තවද ඉහත වාහනවලට අමතරව PA-1369, HM-2424, 62-0763 දරණ වාහන සදහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදී තිබූ ඉන්ධන ඇනවුම් පොතෙන් එම අංක සදහන් කරමින් ඉන්ධන ඇනවුම්පත් ලබාගෙන ඔහු විසින් පාවිච්චි කරන ලද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දී තිබූ 65-1695 දරණ වාහනය හා ඒ වෙනුවට ලබා දුන් KT-5335 දරණ වාහනය සදහාද ඔහුගේ පුද්ගලික වාහනය ලෙස දැක්වූ HU-9099 වාහනය සදහාද අමාත්‍යවරයා විසින් පාව්ච්චි කරන ලද KQ-5455, KM-5597, JP-7329 දරණ වාහන සදහාද ඉන්දන ලබා ගැනීම සිදු කර ඇති බවත් ඒ සදහා ආධාර අනුබල දීමද සරත් වීරවංශ විසින් සිදුකර ඇත.