ටීචර් කෙනකුගේ ගල්මූසල විහිළුවක්

මිහින්තලේ තිරප්පනේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් ගල්කුලම ප්‍රදේශයේ විදුහලක ගුරුවරියක් විසින් එම විදුහලේ හතර ශේ්‍රණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි ශිෂ්‍යයකු විදුහල් බිමේ පුටුවක වාඩිකර පැයක් පමණ අව්වේ තැබූ පුවතක් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නාච්චාදුව හන්දිය ගල්කුලම පදිංචි එම ශිෂ්‍යයාගේ පියා වන එස්. වික්‍රමසිංහ මහතාගෙන් විමසීමේදී සිද්ධිය ගැන මෙසේ පැවැසීය.

මගේ දරුවා මුලින්ම පාසල් ගියේ අනුරාධපුර මහින්ද විද්‍යාලයට. පුතාට පීනස් අමාරුව තියෙනවා. උදේ පාන්දර නැඟිටලා බස් රථයෙන් යන්න අමාරුයි.

ඒ නිසා මීට වසර දෙකකට පෙර පුතා ගල්කුලම විද්‍යාලයට ඇතුළත් කළා දෙවැනි ශේ්‍රණියට. දැන් පුතා 4 වැනි ශේ්‍රණියේ ඉගෙන ගන්නවා. ලබන අවුරුද්දේ පහේ ශිෂ්‍යත්වයට ලියන්න ඉන්නේ. මේ අතර පාසලේ නොමිලයේ ශිෂ්‍යත්ව පන්ති තියෙනවා. ඒකට දරුවා යනවා. ඒ අතර පන්තියේ ගුරුතුමියගේ පෞද්ගලික උපකාරක පන්තියට එන්න කියලා බලපෑම් කළා. ඒකට ගියේ නැහැ.

මේ නිසා ගුරුතුමිය දරුවා සමඟ අමනාපයෙන් සිටියේ. හැමදාම දරුවාට බනිනවා කියලා ගෙදර ඇවිත් කියනවා. පසුගිය දවසක අලුත සායම් ගාපු පුටුවක් විදුහල් මිදුලේ තියලා පුතා ඒ පුටුවේ වාඩි කරවලා ගිනි අව්වේ පැයක් විතර තියලා.

පුතා ගෙදර ඇවිත් හඬ හඬා මේ බව අපට කිව්වා. ඇඳගෙන සිටි කලිසමේ පාටත් ගෑවිලා තිබුණා. ඊට පසුදා පාසලට ගොස් ගුරුතුමියගෙන් මා විමසීමක් කළා. එහිදී ගුරුතුමිය කීවේ "මම විහිළුවක් කළා ඒකට කලබල වෙන්න එපා" කියලා.

පසුව පුතා ඉස්කෝලෙ යන්න බැහැ කියනවා. ඉන්පසු මා මේ ගැන විදුහල්පතිතුමාටත් - තිරප්පනේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමියටත් පැමිණිලි කළා යැයිද එස්. වික්‍රමසිංහ මහතා පැවැසීය.

මේ පිළිබඳ තිරප්පනේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. බී. අයිරාංගනී මහත්මියගෙන් ඊයේ (14දා) දුරකතනය ඔස්සේ කළ විමසීමේදී ඇය මෙසේ පැවැසුවාය.

"ඔය කියන සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්න මම දැනට ගල්කුලම විද්‍යාලයට ඇවිත් ඉන්නේ. පරීක්ෂණය තවම ඉවර නෑ. දැනට කිව හැක්කේ එපමණයි."