වසර 800ක් පැරැණි මුද්‍රාවක් ශ්‍රී පාදයෙන් හමුවෙයි

අදින් වසර 800කට පමණ පෙර රත්නපුර, ශ්‍රී පාද අඩවියේ පිහිටි භික්ෂු පිරිවෙනක භාවිත කරන ලද ඉපැරැණි නිල මුද්‍රාවක් පැල්මඬුල්ල රජමහා විහාරස්ථානයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

මහා පරාක්‍රමබාහු රජ සමයේ (1391-1397) දක්වා කාලයේ ශ්‍රී පාද අඩවියේ පිහිටි දේවප්‍රතිරාජ පිරිවෙනේ නිල මුද්‍රාව ලෙස දැනට හඳුනාගෙන ඇති මේ මුද්‍රාව රත්නපුර, පලාබද්දල ගමේ පදිංචි තිලකසිරි අමරසිංහ මහතාට පලාබද්දල ප්‍රදේශයේදී හමු වී තිබේ.

පැල්මඬුල්ල රජමහා විහාරස්ථානයේ මේ දිනවල පැවැත්වෙන සාහිත්‍ය ප්‍රදර්ශනයේදී මේ ඉපැරැණි නිල මුද්‍රාව මහජනතාවට දැක බලා ගැනීමට තබා ඇත. විශේෂිත පාෂාණ වර්ගයකින් නිපදවා ඇති මේ මුද්‍රාව ස්වරූපයෙන් කොණ්ඩ කැවුම් ගෙඩියක හැඩයෙන් යුක්තය.

මේ මුද්‍රාවේ මතුපිට, මාලිගාවක (ප්‍රතිරාජ පිරිවෙන) සලකුණක්, බෝධි වෘක්ෂයක් හා ශ්‍රී පාද ස්ථානයේ සලකුණක් දක්නට ලැබේ.

පලාබද්දල පදිංචි තිලකසිරි අමරසිංහ මහතාට හමුවී ඇති මේ මුද්‍රාව ඔහු විසින් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ට භාරදී තිබේ.

වසර 800කට පමණ පෙර ලෝකයේ පිහිටි දියුණුම පිරිවෙන් විද්‍යායතනයක් ලෙස සබරගමුවේ ප්‍රතිරාජ පිරිවෙන සැලකෙනවා. උගත්, ධර්මධර භික්ෂුන් වහන්සේ සියගණනක් මේ පිරිවෙනේ ධර්ම ශාස්ත්‍රය ප්‍රගුණ කර තිබෙන බවට ලිඛිත සාක්ෂි අපේ රජමහා විහාරයේ තිබෙනවා.

මේ ප්‍රතිරාජ පිරිවෙන දෙමහල් ගොඩනැඟිල්ලක් ලෙස පැවැති බවට නටබුන් අදටත් ශ්‍රී පාද අඩවියේ පලාබද්දල ප්‍රදේශයේ තිබෙනවා. වසර සිය ගණනකට පෙර අපේ රටේ පැවැති දියුණු භික්ෂු අධ්‍යාපනය පිළිබඳ එයින් තහවුරු වෙනවා. පලාබද්දල ධර්මකීර්ති සඟ පරපුරට අයත් පැල්මඬුල්ල රජමහා විහාරයටම මේ ඉපැරැණි නිල මුද්‍රාව ලැබීම විශේෂ සිදුවීමක් වෙනවායි මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූහ.