බලු පැටියා හපා කාලා මාස 3කට පස්සේ දරුවා මැරිලා

නිවෙසේ සුරතලයට ඇති කළ බලු පැටවකු සපා කා මාස තුනකට පසු ජලභීතිකා රෝගය වැලඳුණු වයස අවුරුදු නමයක දරුවකු මියගොස් ඇතැයි පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නන්දන දයාසිරි ගමගේ මහතා කීය.

මියගොස් ඇත්තේ පොල්පිතිගම ප්‍රදේශයේ පාසලක හතර වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකි.
මීට මාස තුනකට පමණ පෙර අත්තම්මාගේ නිවෙසේ සුරතලයට ඇති කළ බලු පැටවකු දරුවාගේ පාදයක් සපා කා ඇති බවත් පැවැසේ. එහෙත් දරුවාට ජලභීතිකා මර්දන එන්නත් හෝ ඔෟෂධ ලබාදීමට වැඩිහිටියන් කටයුතු කොට නැති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ දරුවා පසුගිය දාහතර වැනි දින රෝගීවී රෝහලට ඇතුළත් කළ බවත් ඔහු සුළඟට හා ජලයට භීතියක් දැක්වූ බවත්, ආහාර හා ජලය ගැනීමට අපහසුතාවෙන් පසු වූ බවත් වෛද්‍ය ගමගේ මහතා කීය. දරුවාගේ කටින් සෙම හා කෙළ පිට වූ බවත්, ඔහුගේ සිරුර අප්‍රාණික තත්ත්වයේ තිබූ බවත් වෛද්‍ය ගමගේ මහතා කීය.

මේ රෝගී තත්ත්වයන් උත්සන්න වීම නිසා දරුවා පසුගිය 16දා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට මාරුකර යැවූ බවත් එහිදී දරුවා මියගොස් ඇති බවත් කියැවේ. දරුවාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්‍ෂණයට යොමුකළ පසු මේ මරණය ජලභීතිකා රෝගය වැලඳීම නිසා සිදු වූවක් බවට කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය කේ.කේ. වීරක්කොඩි මහතා නිගමනය කොට ඇත.