ඇමැති රවි ඇතුළු 14ක් උසාවි කැඳවයි

ලයන් බෲවරි ඇතුළු සමාගම් 4කට රුපියල් කෝටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන ඔක්තෝබර් මස 12 වැනිදා අධිකරණය හමුවෙහි පෙනී සිටින ලෙස මුදල් ඇමැති රවි කරුණානායක, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු දහහතර දෙනකුට නියම කරමින් අභියාචනාධිකරණය ඊයේ (27) නොතීසි නිකුත් කෙළේය. 

මාස හතරක කාලයක් සඳහා රේගු බදු සහන ලයන් බෲවරි සමාගමට ලබාදීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600ක මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය විසින් මෙලෙස නොතීසි නිකුත් කරන ලදී. අභියාචනාධිකරණ ‍සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියෙහි මේ පෙත්සම් කැඳවන ලදී.

සිංහලේ ජාතික පෙරමුණ සංවිධානයේ සභාපති අගුලුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි සහ රත්ගම සුමංගල, බියගම සුසීල, උඩගෝමදෙනියේ සුමන, ටී. මහානාම, ගලගොඩදෙනියේ රතනවංශ යන භික්ෂූන් වහන්සේ හය නම විසින් මේ පෙත්සම ගොනු කර තිබුණි.

මුදල් ඇමැති රවි කරුණානායක, රේගු අධ්‍යක්ෂ ජෙනරාල් නෙවිල් ගුණවර්ධන, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ලයන් බෲවරි සිලෝන් ලිමිටඩ් ඇතුළු දහහතර දෙනකු පෙත්සම මගින් වගඋත්තරකරුවන් කොට සිටිති. මුදල් අමාත්‍යාංශයේ විශේෂ තීරණයක් මත ලයන් බෲවරි සමාගමට බියර් ආනයනය කිරීම සඳහා වන රේගු බදු අඩු කරමින් බදු සහන ලබාදීමට කටයුතු කර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ. එම බදු සහනය මාස 4ක කාලයකට ලබාදීමට අපේක්ෂා කරන අතර එමඟින් රජයට අහිමිවන බදු මුදල රුපියල් කෝටි 600ක් බව ද දැක්වේ. ඉකුත් 2015/16 වර්ෂය සඳහා එම සමාගම රුපියල් බිලියන හතරයි දශම පහක ලාබයක් ලබා ඇති බවද සඳහන් වේ.

එසේ තිබියදීත් රජයට මෙලෙස බදු ආදායම් අහිමි කිරීම අසාධාරණ බව පෙත්සමෙහි දැක්වේ.

එබැවින් එලෙස බදු සහනය ලබාදීමේ මුදල් අමාත්‍යාංශයේ තීරණය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

මහජන සුබ සිද්ධිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.