නරකම ගුවන්තොටුපොළ 10 අතරට කටුනායකත්

ආසියානු රටවල් අතර ඉතා දුර්වල ගුවන් තොටුපොළ අතරින් දසවැනි ස්ථානයට පත්ව තිබෙන්නේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළයි.

මේ බව වාර්තා කරන්නේ විදෙස් වෙබ් අඩවියක් කළ සමීක්ෂණයකිනි. එම වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට ආසියාවේ දුර්වලම ගුවන් තොටුපොළ ලෙස දක්වා තිබෙන්නේ නේපාලයේ කත්මණ්ඩු ත්‍රිබුවාන් අන්තර් ජාතික ගුවන් තොටුපොළය. දෙවැනි ස්ථානයේ පසුවන්නේ උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් අන්තර්ජාතික ගුවන් තොටුපොළයි.

ඇෆ්ගනිස්තානයේ කාබුල් හමීඩ් කර්සායි අන්තර්ජාතික ගුවන් තොටුපොළ තෙවැනි ස්ථානයට පත්ව තිබේ. ගුවන් තොටුපොළක මගීන්ට ලබාදෙන පහසුකම්, ආහාර ඇතුළු විවිධ කරුණු සැලකිල්ලට ලක්කර මේ පෙළගැස්ම සිදුකර තිබේ. අදාළ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ අඩුපාඩු රැසක් පවතින බවත් විශේෂයෙන් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ අපවිත්‍රතාව, වැසිකිළි පද්ධතිය පිරිසුදු මට්ටමක නොමැති බවයි. එසේම කාර්ය මණ්ඩලයේ අකාර්යක්‍ෂමතාව ගැනද එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී දේශීය දුරකතන සමාගම් සිම් කාඩ්පත් ලබා ගැනීමට පහසුව සලසා දීම වඩාත් යෝග්‍ය බවද එම වෙබ් අඩවිය යෝජනා කරයි.