ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්

ඉතාලියේ පෙරුගියා නගරයට දකුණුදිගින් රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයක් ඇති වී තිබේ.

එරට වේලාවෙන් අලුයම 3.36 ට ඇති වී තිබෙන මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය එම නගරයෙන් කිලෝමීටර් 76ක් ඔබ්බෙන්, පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් වාර්තා වී ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මෙම භූ කම්පනය හේතුවෙන් රෝමයේ ඇතැම් ගොඩනැගිලි තත්ත්පර 20ක පමණ කාලයක් සෙලවී ගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ දක්වා භූ කම්පනය හේතුවෙන් සිදුවූ අලාභානි හෝ ජීවිත හානියක් පිළිබඳ වාර්තා නොවන බවද විදෙස් වාර්තා පවසයි.

ඉතාලි අගමැති කාර්යාලය පවසා තිබුණේ පළාත් ආයතන සමග සම්බන්ධ වෙමින් භූ කම්පනයේ තත්ත්වය සොයා බලමින් සිටින බවයි.

මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 6.4ක භූ කම්පනයක් ලෙස මුලින් සඳහන් වුවත්, පසුව එය 6.2ක භූ කම්පනයක් බව දක්වා තිබුණි.