ජනපතිට එරෙහිව සයිබර් යුද්ධයක්

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට කඩා වැදී ඇති අන්තර්ජාලයේ 'හැකර්ස්'ලා ඉල්ලීම් හා කොන්දේසි කීපයක් ඉදිරිපත් කරමින් ඒවා ඉටු නොකළහොත් ඉදිරියේදී සයිබර් යුද්ධයකට සූදානම් වෙන්නැයි ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීමක් කර තිබේ.

'ශ්‍රී ලන්කන් යූත්' නමින් මේ තර්ජනය කරන 'හැකර්ස්' ලාගේ ඉල්ලීම් හා කොන්දේසි වන්නේ,
අ.පො.ස. උසස් පෙළ විභාගය පවත්වන දින වකවානු වෙනස් නොකරන්න.

වගකීමෙන් තොරව අගමැතිවරයා කරන ප්‍රකාශ නතර කරන්න.
ලංකාවේ වෙබ් අඩවිවල ආරක්ෂාව තහවුරු කරන්න.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ මූලික ප්‍රශ්නවලට වහා විසඳුම් ලබා දෙන්න යන්නයි.

ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේ පිළිබඳව විමසූ විට කීවේ, සිද්ධිය ගැන රහස් පොලිසියට පැමිණිලි කර තිබෙන බවයි. ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට හැකර්ස්ලා කඩාවැදී තිබෙන්නේ පසුගිය බ්‍රහස්පතින්දායි. මීට පෙර අවස්ථාවකදී ද මේ වෙබ් අඩවියට හැකර්ස්ලා කඩා වැදීමට උත්සාහ කර තිබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවැසීය.