මහින්ද නාමල් බලන්න වැලිකඩට

බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) දහවල් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.හිටපු ජනාධිපතිවරයා ඊයේ (16) දහවල් 12ට පමණ බන්ධනාගාරය වෙත පැමිණ ඇති අතර එහිදී බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ කාර්යාලයේදී හිටපු ජනාධිපතිවරයා මුණගැසී ඇත.

මෙම අවස්ථාවේදී විශේෂ බන්ධනාගාර ආරක්ෂක නිලධාරියකු සමග නාමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී පැයකට ආසන්න කාලයක් හිටපු ජනාධිපතිවරයා සමග කතාබහ කිරීමට අවස්ථාව හිමි වී තිබේ.

එම හමුවීමෙන් අනතුරුව දහවල් එකට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාරයෙන් පිටතට ගොස් ඇත. මීට අමතරව ඊයේ (16) උදෑසන කාලයේදී හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ කාංචන විජේසේකර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුද නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් සොයා බැලීමට පැමිණ ඇත.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නිවසින් ආහාරපාන ලබා ගැනීමට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා විසින් ඊයේ (16) අවසර ලබා දී තිබේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ රඳවා සිටින නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර අධිකාරිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව නිවසින් ආහාර ගෙන ඒමට මෙලෙස අවසර ලබා දුන් බවද බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා සහ රක්ෂිත බන්ධනාගාරගත කළ සුදර්ශන බණ්ඩාර ගනේගොඩ මහතා යන දෙදෙනා විශේෂ ආරක්ෂාවක් යටතේ සිටින අතර මෙම සිරමැදිරියේ මීට පෙර යෝෂිත රාජපක්ෂ මහතා රඳවා තිබිණි.