වරද පිළිගනියි - නකල්ස් මස්වැද්දන් නිදහස්

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මහත් ආන්දෝලනයට තුඩුදුන් නක්ලස් රක්ෂිතයේ සතුන් ඝාතනය කර එම ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 06 දෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

ඒ අනුව පන්විල සංචාරක මහේස්ත්‍රාත් එම්.එච්. රෆික්ඩීන් මහතා ඔවුන්ට 175,000ක දඩයක් නියම කළ බව වාර්තාකරු සඳහන් කළේය.

ඕලු මුවන්, දඩු ලේනුන්, ගෝනුන් ඇතුළු වන සතුන් දඩයම් කර එම ඡායා රූප සමාජජාල වෙබ් අඩවිවල පළවීමෙන් පසු සිද්ධියේ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පරිසර සංවිධාන සහ විශාල පිරිසක් ඉල්ලීම් සිදු කර තිබුණි.

ඒ අනුව දින කිහිපයක් ඇතුළත සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනිමට වනජීවි නිළධාරින් සහ පොලිසිය කටයුතු කළේය.

අධි ආරක්ෂිත සතුන් ඝාතනය කිරීම, ගිනි අවි භාවිත කිරීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පොලිසිය පියවර ගත් අතර ඊයේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ සැකකරුවන් චෝදනාවලට වරද පිළිගෙන ඇත.

ඒ අනුව සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සාද් මොහොමඩ් සිරාජ් නැමැත්තාට එක් වරදකට රුපියල් 25,000 බැගින් රුපියල් 50,000ක දඩයක් නියම කර ඇත.

සතුන් ඝාතනය කිරීමට අනුබල ලබාදීම යන චෝදනාව යටතේ සෙසු සැකකරුවන් 05 දෙනාට එක් අයෙකුට රුපියල් 25,000 බැගින් දඩ නියම කළ බව වාර්තාකරු සඳහන් කළේය.