චන්දිමාල් වාර්තාවක් අභියස

අඛණ්ඩව එක්දින ඉනිම හයකදී අර්ධ ශතක හයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ පළමු එක්දින ක්‍රීඩකයා බවට පත්විමට දිනේෂ් චන්දිමාල්ට අවශ්‍යව ඇත්තේ තවත් එක් අර්ධ ශතකයක් පමණි. හෙට ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගයේදී චන්දිමාල් අර්ධ ශතකයක් රැස්කළහොත් චන්දිමාල් අඛණ්ඩ එක්දින ඉනිම හයකදී අර්ධ ශතක හයක් රැස්කළ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩකයා බවට පත්වෙනු ඇත.

එසේම ලෝකයේ එවැනි දක්ෂතාවත් දැක්වූ හය වැනි එක්දින ක්‍රීඩකයා බවට ඉතිහාසයට එක්වීමටත් චන්දිමාල්ට අවස්ථාව තිබේ. ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වෙන අර්ජුණ රණතුංග, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර යන කිසිවෙකුත් අඛණ්ඩව එක්දින ඉනිම හයකදී අර්ධ ශතක වාර්තා කර නොමැත.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නොදැවී ලබාගත් ලකුණු 80ද ඇතුළුව චන්දිමාල් මේ වන විට අඛණ්ඩව එක්දින අර්ධ ශතක පහක් රැස්කර තිබේ. කොදෙව්හි ගෝල්ඩන් ග්‍රීනිච්, නවසීලන්තයේ ඇන්ඩ්‍රෘ ජෝන්, ඔස්ට්‍රේලියාවේ මාක් වෝ, පාකිස්තානයේ මොහොමඩ් යූෂෆ්, නවසීන්තයේ කේන් විලියම්සන් යන ක්‍රීඩකයන් මීට ඉහතදී එම දක්ෂතාව දක්වා තිබේ.