වැරැදි හතකට ලොකු දඩයක් කයි

යතුරුපැදියක් ධාවනය කර වැරැදි හතකට වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් තිස්නවදහසක දඩ මුදලක් ගෙවන ලෙස හෙට්ටිපොළ අධිකරණ මහෙස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය නියෝග කළාය.

පොලිස් සංඥාවට අවනත නොවීම (රු. 2000), අපරික්‍ෂාකාරී රිය ධාවනය (රු. 10,000), ආරක්‍ෂක හිස්වැසුම් නොමැතිව රිය පැදවීම (රු. 2000), රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම (රු. 3000), ආදායම් බලපත්‍රය නොමැතිව රිය පැදවීම (රු. 2000), රක්‍ෂණ සහතිකය නොමැතිව රිය පැදවීම (5000), පිටුපස අංක තහඩුව නොමැති යතුරුපැදියක් ධාවනය කිරීම (15,000) යන වැරැදි හත සඳහා එම දඩ මුදල ගෙවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙලෙස වරදකරු වූවේ හෙට්ටිපොළ පදිංචි අයෙකි. හෙට්ටිපොළ පොලිසියෙහි රථ වාහන අංශය මඟින් ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.