ලංකාවට අමුතු වැස්සක්

සුවිශේෂීම වූ ‘පර්සීඩ්’ උල්කා වර්ෂාවක් මේ මස 10,11.12,13 හා 14 යන දිනවල ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට හැකිවන බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ තාරකා විද්‍යාව පිළිබද ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි. 

විශේෂයෙන් 11,12 හා 13 යන දිනවල මේ උල්කා වර්ෂාවේ උච්චතම අවස්ථාව ලෙස තාරකා විද්‍යාඥයන් අනුමාන කර ඇති බවද වික්‍රමරත්න මහතා කීවේය. මෙවැනි පර්සීඩ් උල්කා වර්ෂාවක් 2014 අගෝස්තු 11 වැනිදා සක්‍රිය වූ අතර එදින රජරට ජනතාව මහත් භීතයට පත්වූයේ උල්කා වර්ෂාව ගිගුරුමකින් හට ගත් නිසා බවද වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

‘ස්විෆ්ට්ටටල්’ වල්ගා තරුවේ දූලි අංශු බහුල ප්‍රදේශය හරහා වසරකට වරක් පෘථිවි තලය පසුකරන විට නිර්මාණය වන මේ සිදුවීම් ගිලිහී වැටෙන තාරකා ලෙස ද බොහෝ දෙනා හදුන්වන බවද කීර්ති වික්‍රමරත්න මහතා පැහැදිලි කරයි. 

පර්සීඩ් උල්කා වර්ෂාව මෙවර ඉතා සුවිශේෂී වනු ඇති බවත් පැයට උල්කා වැටීම් 100කට වැඩි ප්‍රමාණයක් දැක ගත හැකි බවට තාරකා විද්‍යාඥයන් අනුමාන කර ඇති බවද කීර්ති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය. 2126 වසරේදි සිදුවන පර්සීඩ් උල්කාපාතයකින් මිහිතලයට නොසිතූ බලපෑම් වලට මුහුණදීමට සිදුවිය හැකි බවට මීට මාස කිහිපයකට ප්‍රථම පරීක්ෂණ සිදු කෙරූ තාරකා විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දී ඇති බවද වික්‍රමරත්න මහතා පැවැසීය.