රෝසිගෙන් පොලිසියට තග

හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දිනේෂ් ඩි. දොඩංගොඩ මහතාට පෙරේදා (24) දින පහරදී ඇත්තේ ඉසිර අසේල දිසානායක නැමැත්තෙකු බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

මොහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී - රෝසි සේනානායක මහත්මියගේ ළඟම ඥාතියෙකු බව පැවසේ. නැතිනම් ඔහු රෝසි සේනානායකගේ සොයුරියගේ හිටපු සැමියා වන දයාන් දිසානායකගේ ඥාතියකු බව වාර්තා වේ.

සැකකරු ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මොහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේද සේවය කර ඇති අතර දැනට ඔහු කටාර් ගුවන් සේවයේ සේවය කරන බව පැවසේ.

සැකකරු 2013 වසරේදී මිස්ට ශ්‍රී ලංකා හි තරඟකරුවකු ලෙස සහභාගිවී ඇති බවද වාර්තා වේ.දිනේෂ් මහතාට කළ පහරදීම හේතුවෙන් අසේලගේ අතේ ඇඟිලිවල පිටපැත්ත තුවාලවී ඇතැයි වාර්තා වේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට තරම් බරපතල අසාධ්‍ය තත්ත්වයකින් පසු නොවුනත්, ඔහු මේ වන විටත් බලහත්කාරයෙන් කළුබෝවිල රෝහලයට නේවාසිකව ඇතුළත් වී සිටියි.

ඔහුව තවදුරටත් රෝහලේ රඳවාගන්නා ලෙස කළුබෝවිල රෝහලටත්, පොලිසි වලටත් දිගින් දිගටම බලපෑම් කරමින් සිටින්නේ රෝසි සේනානායක මහත්මිය යැයි වාර්තා වේ.

ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් වී ඇත්තේ ද මිරිහාන පොලිසියේ සහය මත යැයි පැවසේ.

සැකකරු කිසියම් දැඩි මත්ද්‍රව්‍යක් භාවිතා කරන්නෙකු බවටද රාවයක් වන අතර, ඔහු නිතර කලහ ඇතිකරගන්නෙකු බවද මේ අතර වාර්තා වේ.

මේ අතර, සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ දොඩංගොඩ මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සැත්කම් දෙකකට ලක්කිරීමෙන් අනතුරුව මේ වන විට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන දිනේෂ් දොඩංගොඩ මහතාගේ ඡායාරූපයක් පහතින් දැකවේ.