පාද යාත්‍රා යන අයගේ මන්ත්‍රී ධුර අහෝසි කරනවා

පක්ෂ විනය කඩකරමින් ශ්‍රීලනිපය දෙකඩකිරීමේ අරමුණින් පාද යාත්‍රා යන පිරසට එරෙහිව විනයානුකූල පියවරගෙන ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කරදැමීමට පියවර ගන්නා බව සමාජ සුබ සාධන හා සමාජ සවිබලගැන්වීමේ ඇමැති එස්.බී දිසානායක මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයයැයි කියා ගනිමින් මෙම පිරිස පක්ෂයට සිදුකරන හානිය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත් ශ්‍රීලනිපය ප්‍රතිසංවිධානය සඳහා මෙම පිරිස ඉවත්කර ඒ වෙනුවට නව ආසන සංවිධාකවරුන් පත්කරන බවද ඒ මහතා කීය.

පසුගිය මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකත්වය සඳහා චමල්,ගෝඨාභය යන අය‍ගේ නම් යෝජනා වෙත්දී ඊට එරෙහිවී තමන්ට අගමැති අපේක්ෂකවත්වය ලබාගැනීම සඳහා කුමන්ත්‍රණ දියත් කළේ මහින්ද රාජපක්ෂ බවත් එහි ප්‍රථිපලයක් ලෙස ජනපති මෛත්‍රී නිහඬ වූ බවත් පැවසූ දිසානායක මහතා අවසනයේ ශ්‍රීලනිපයට එජාපය හා ජාතික ආණ්ඩුවකට යෑමට සිදුවූ බව ද අවධාරණය කළේය.

පක්ෂය මෙවැනි තැනකට තල්ලුකර දැමූ මහින්ද දැන් තවත් පිරිසකගේ අවශ්‍යතාවට පක්ෂය දෙකඩ කිරීමට ක්‍රියාකරමින් සිටින බවද ඇමැතිවරයා කීය.

මෙම වැඩපිළිවෙළ තුළින් පාක්ෂිකයන් අන්ත අසරණ වන බවත් පක්ෂයට එරෙහිව යන මෙම ද්‍රෝහී ගමන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්නා බවත් හෙ‍තෙම කීය.

සොරකම්,දූෂණ,වංචා හා අපරාධ වහගන්න මේ අය පාගමන් යන බවත් ඔවුන් කළ වැරදි ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නා බවත් ඒ මහතා පැවසුවේය.

ජනතාව මොවුන් කළ අපරාධ දන්නා බවද හෙ‍තෙම කීය.

මහින්ද රාජපක්ෂ පාලනය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමැරිකාව, ඉන්දියාව හා සමස්ථ යුරෝපයම අප සමඟ අමනාප කරගත් බවත් ඔහු රට ගෙනගොස් නතර කිරීමට සූදානම්වූයේ ඉරාකය හා ලිබියාව පත් වූ තත්ත්වයක බවත් පැවසූ දිසානායක මහතා තවදුරටත් මෙම පිරිස සිදුකරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉවසා සිටිය නොහැකි බවද අවධාරණය කළේය.