විදේශීය කාන්තාවගේ ලක්ෂ 23ක් ආපසු දෙයි

විදේශීය රටක සිට ලංකාවට පැමිණ සිටි කාන්තාවකට අයත් රු. ලක්ෂ 23ක මුදල්, බැංකු කාඩ්පත් හා ගමන් බලපත්‍රය සහිත ගමන් මල්ල අයිතිකරු සොයා භාර දුන් ආදර්ශමත් මාධ්‍යවේදියකු පිළිබඳ දඹුල්ලෙන් වාර්තා වේ.

තායිලන්තයේ සිට මෙරටට පැමිණ සිටින විදේශීය කණ්ඩායමක් මෙරට වන අලින් පිළිබඳ ගවේෂණයක නිරතව සිටිති.

මෙම පිරිස දඹුල්ල හා සීගිරිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් වන අලින් පිළිබඳ සොයා බලන විටදී වන අලින්ට සිදුවන හිංසා පිළිබඳ ගවේෂණ ඡායාරූප ලබා දෙන ලෙස විදේශිකයන් පිරිස සීගිරිය සෆාරි ප්‍රධානී පියසේන ගමගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව වන අලි පිළිබඳ නිරන්තරයෙන් ගවේෂණ මාධ්‍ය වෘත්තියේ නියැළෙන දඹුල්ල මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාගේ නිවසට මෙම විදේශීය පිරිස කැටිව යාමට පියසේන මහතා කටයුතු කළේය.

වන අලින් පිළිබඳ ඡායාරූප කිහිපයක් කාංචන මහතාගේ පරිගණකයෙන් පිටපත් කරගත් විදේශීය පිරිස මහනුවර බලා පිටත්ව ගියහ.

ඔවුන් පිටත්ව මඳ වේලාවකට පසුව සිය නිවසේ සාලයේ බිම තිබූ ගමන් මල්ලක් ගැන පරීක්ෂා කර බැලූ කාංචන කුමාර මහතාට මෙම බෑගයේ තිබි තායිලන්ත ජාතික ලික් චයිලර්ට් මහත්මියගේ ගමන් බලපත්‍රය, වීසා, කේ‍රඩිට් කාඩ් පත හා විදේශීය හා දේශීය මුදල් රු. ලක්ෂ 23ක් හමුවී ඇත.

වහාම ක්‍රියාත්මක වූ ඒ මහතා සීගිරියේ සංචාරක මගපෙන්වන්නකු වන සිය මිතුරකුට කතා කර මෙම තායිලන්ත පිරිස සමග පැමිණි පියසේන ගමගේ මහතාගේ ජංගම දුරකථන අංකය එම මිතුරාගෙන් ඉල්ලාගෙන ඔහුට කතා කර මෙම බෑගය පිළිබඳ විස්තර පවසා එම විදේශීය පිරිස නතර කරගෙන ඇත.

සිය යතුරුපැදියෙන් මෙම විදේශීය පිරිස හමුවීමට ගොස් බෑගය තිබූ විදිහටම භාරදීමට තරම් කාංචන කුමාර ආරියදාස මහතා කටයුතු කළේය.
මැල්සිරිපුර වාර්තාකරු