KP ට රටින් පිටවීමේ තහනම යළිත් දික් කරයි

වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ‍පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි නායකයා ලෙස පැවසුන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ට මෙරටින් පිටවීම තහනම් කරමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝබර් මස විසිහය (26) වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (25) තීරණය කළේය.

කේ.පී. ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම කැඳ වූ අවස්ථාවේදී මෙම අතුරු නියෝගය දීර්ඝ කරන ලදී.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එච්.සී.ජේ. මඩවල මහත්මිය ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

පොලිස්පතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, ආගමන විගමන පාලකවරයා, යුද හමුදාපතිවරයා, කිලිනොච්චි හි ආරක්ෂක අණ දෙන නිලධාරිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ත්‍රස්ත විමර්ශන ඒකකයෙහි අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා, ශන්මුගම් කුමාරන් තාමර්ලිංගම් හෙවත් තාමර්ලිංගම් ශන්මුගම් කුමාරන් හෙවත් කුමාරන් පද්මනාදන් හෙවත් කුට්ටි මාස්ටර් හෙවත් කුට්ටි සිරි හෙවත් කම්බයිෂ් සෙල්වරාජා හෙවත් කේ.පී. මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර නායකයා ලෙස කටයුතු කළ කේ.පී. ජාත්‍යන්තර පොලිසියට මෙන්ම ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශයට අත්‍යාවශ්‍ය පුද්ගලයකු ලෙස සැලකෙන බව පෙත්සමෙහි සඳහන් විය.

ශ්‍රී ලංකා රජය විසින් 2012 වසරේදී අත්අඩංගුවට ගත් බව පැවසුනද ඔහු රජයේ ආරක්ෂාව සහිතව නිදහසේ කටයුතු කරන බව සහ නැව් 7ක් ඇතුළුව කේ.පී. සතුව තිබූ බිලියන ගණනක් වූ මුදලට සිදුවූයේ කුමක්ද යන්න කිසිවකුත් නොදන්නා බව පෙත්සමෙහි සඳහන් විය.

කේ.පී. නමැත්තා නීතියට අනුකූලව නියමාකාරයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස බලධාරීන්ට නි‍යෝග කරන්නැයි මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබුණි.

නීතිඥ සුනිල් වටගල මහතාගේ උපදෙස් මත නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.