මෙන්ඩිස්ට සුපිරි බලපත‍්‍රයක්

සහල් උපයෝගී කරගෙන සැර මත්පැන් නිපදවීම සඳහා ‘මෙන්ඩිස් ඩිස්ටරලීස්’ සමාගමට විශේෂ බලපත‍්‍රයක් ප‍්‍රදානය කර ඇත.

මෙම බලපත‍්‍රය මෙන්ඩිස් සමාගමට ලබා දීම සඳහා ක‍්‍රියාකර ඇත්තේ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකි. මෙන්ඩිස් සමාගම නව ඉස්කාගාරය ආරම්භ කිරීමට තෝරාගෙන ඇත්තේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත‍්‍රික්කයේ බව දැනගන්නට ඇත.

මෙන්ඩිස් සමාගමේ ප‍්‍රධානියා වන්නේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණණුවන් වන අර්ජුන් ඇලෝසියස් මහතාය.

මෙන්ඩිස් සමාගම දැනටමත් වැරැදි නිෂ්පාදන වාර්තා පෙන්වා සත්‍ය ආදායම සැඟවීමට කටයුතු කරන බවත් එමඟින් රජයට ගෙවිය යුතු බදු වංචා කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ තොරතුරු මාර්ග සඳහන් කරයි.

මෙන්ඩිස් සමාගම නිෂ්පාදන වාර්තාවල ලීටර් 24,000 ක් පමණ මාසිකව නිෂ්පාදනය කරන බව පෙන්වුවද
එමෙන් තුන් ගුණයක් පමණ රහසේ නිෂ්පාදනය කරන බව පැවසේ. අම්පාර නව ඉස්කාගාරය ආරම්භ කිරීම සඳහා නැගෙනහිර සුරාබදු අධිකාරියේ ඉහළ නිලධාරීන්ගේ සහාය ද ලබාගෙන ඇතැයි දැනගන්නට ඇත.

මෙන්ඩිස් සමාගම නිපදවන අරක්කු කාලේ කුප්පියක් මත්පැන් අලෙවි සල්වලට ලබා දෙන්නේ රුපියල් 180 ට බවත් එවැනි කුප්පියකට රජයේ බද්ද පමණක් රුපියල් 185 ක් ගෙවීමට තිබිය දී අඩුම මිලකට මත්පැන් විකිණීම සම්බන්ධව බරපතළ සැකයක් උපදින බවත් සුරාබදු දෙපාර්තමේන්තු තොරතුරු මාර්ග සඳහන් කරයි. මෙන්ඩිස් සමාගමේ වංචාසහගත ක‍්‍රියාව හේතුවෙන් රජයට මාසිකව රුපියල් ලක්ෂ හයදහසක පමණ බදු ආදායමක් අහිමි වන බව පැවසේ. මෙන්ඩිස් සමාගමේ බදු වංචාව සහ නව ඉස්කාගාරය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අවස්ථා ගණනාවක දී අර්ජුන් ඇලෝසියස් මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් එම උත්සාහය ව්‍යර්ථ විය.

- දයා නෙත්තසිංහ