වාස්‌ට කැපිල්ලක්‌?

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස චමින්ද වාස්‌ව පත්කර ගැනීමට කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකු මැළි කමක්‌ දැක්‌වීම හේතුවෙන් මේ වන තෙක්‌ අදාළ තනතුර වෙනුවෙන් චමින්ද වාස්‌ සමග ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කිසිදු සාකච්ඡාවක්‌ සිදු කර නොමැති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂතා ඉහළ දැමීමේ කළමණාකරුවා වන එංගලන්ත ජාතික සිමන්ස්‌ මහතා වාස්‌ සමග සාකච්ඡාවක්‌ පවත්වා ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය දැනුවත් කර තිබුණද වාස්‌ව පත්කර ගැනීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකුගේ අදහස්‌ විමසීම හේතුවෙන් අදාළ පත්කර ගැනීම පමා වී ඇතැයි තවදුරටත් වාර්තා වේ.

මීට පෙරද වාස්‌ වේග පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කරන කාලයේදී සිටි නම් දැරූ පන්දු යවන්නකු සහ වේග පන්දු යවන තුන් ඉරියව් ප්‍රහාරාත්මක පිතිකරුවකු වාස්‌ සමග බහින් බස්‌වීමක්‌ ඇතිකර ගෙන තිබෙන අතර එයට හේතුව ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව වාස්‌ සපයන ලද වාර්තාව බව පසුව අනාවරණය විය.

මේ අනූව විදෙස්‌ පුහුණුකරුවකු ගෙන්වා ගැනීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකර ගැනීමට වාස්‌ට එරෙහිව අදාළ චෝදනාව ඉදිරිපත්කර ඇතැයි සඳහන් වේ. ඉදිරි සතියේදී ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරුවා පිළිබඳව ස්‌ථිර විසඳුමක්‌ ගනු ඇතැයි වැඩිදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

චමින්ද වාස්‌ ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා වන අතර ඔහු ටෙස්‌ට්‌ කඩුලු 355 ක්‌ සහ එක්‌දින කඩුලු 400 ක්‌ දවා ගනිමින් මුරලිට පසුව මෙරට වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. නවසීලන්තයේ සහ තවත් විදෙස්‌ රටවල් කිහිපයකම වේග පන්දු පුහුණුකරුවකු ලෙස චමින්ද වාස්‌ සේවය කර තිබියදී ඔහුගේ පත්කර ගැනීම කල් මැරීම විශේෂ සිදුවීමකි.