ජාත්‍යන්තර පාසලක අත්බෝම්බයක්‌

නුගේගොඩ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක පිහිනුම් තටාකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්‌ ඊයේ (17 වැනිදා) උදේ සොයාගත් බව කොහුවල පොලිසිය පවසයි.

ලද තොරතුරකට අනුව එම පාසලට ගොස්‌ පරීක්‍ෂා කිරීමේදී එය ජීව අත්බෝම්බයක්‌ බව හඳුනා ගැනීමෙන් පසු යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා එය පාළු ප්‍රදේශයකට රැගෙන ගොස්‌ නිෂ්ක්‍රීය කර ඇත.

යම් හෙයකින් දරුවන් මෙම පිහිනුම් තටාකයේ හිටියේ නම් එය පිපිරී විශාල අනතුරක්‌ සිදුවීමට ඉඩ තිබූ බවද පොලිසිය කියයි.

අත්බෝම්බය තිබූ පිහිනුම් තටාකය නිරීක්‍ෂණය කළ නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් විදුර පී. මංචනායක මහතා එම ජාත්‍යන්තර පාසලේ සවිකර ඇති සීසීටීවි කැමරාවල දර්ශන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළේය.

කිසියම් අපරාධයක්‌ සඳහා පිරිසක්‌ මෙම ජීව අත්බෝම්බය රැගෙන යන අතරතුර යම් බාධකයක්‌ නිසා එය විසිකර ගියේද? එසේත් නොමැත sනම් වෙනත් අපරාධයක්‌ සිදුකිරීමට මෙම අත්බෝම්බය පිහිනුම් තටාකයේ සඟවා තැබුවේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.

මේ පිළිබඳව දෙහිවල සහකාර පොලිස්‌ අධිකාරි රංජිත් කොට්‌ටහච්චි මහතාගේ අධීක්‍ෂණය යටතේ කොහුවල පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චමින්ද ඉදිරිසූරිය මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.