එමිල් කාන්තන් ළඟදීම ලංකාවට

තමා ශ්‍රී ලංකාවට නොපැමිණියේ නොවැළැක්විය හැකි හේතු නිසා වුවද, වර්තමානය වනවිට ශ්‍රී ලංකාවට නොපැමිණ සිටීමට හේතු නැතැයි එමිල් කාන්තන් පවසයි.

"මම රටින් ඈත්වී සිටීමට හිතුවේ නොවැළැක්විය හැකි හේතු නිසයි. ඒ නිසා මට නිදහසේ මෙන්ම ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාවක් හිමිවුණේ නෑ. නමුත් දැන් තත්ත්වයන් වර්ධනය වී තිබෙනවා. ඒ නිසා ලංකාවට නොපැමිණ සිටීමට හේතුවක් නෑ* යැයි තමා ශ්‍රී ලංකාවට නොපැමිණීම පිළිබඳව අදහස් දක්වමින් එමිල් කාන්තන් පවසයි.

විජය පුවත්පත් සමාගමේ 'ටැමිල් මිරර්' පුවත්පතේ කර්තෘ ඒ.පී. මදන් මහතා සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 'නොවැළැක්විය හැකි හේතු' යනුවෙන් පවසන්නේ ජීවිතය පිළිබඳ බිය හා ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත්වීමට තරම් ඉඩක් නොමැති වීම බවද ඔහු පවසයි.

එසේම තමාට රාඩා ආයතනය(ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය) හා කිසිදු සම්බන්ධයක් නොමැතිබවත් රාඩා ආයතනයේ සභාපති ටිරාන් අලස් මහතා හා සමීප ව්‍යාපාරික සබඳතා පැවැත්වීම හේතුවෙන් එම ආයතනයේ නම හා තමාගේ නම එක්ව වාර්තා පළ වෙන බවත් එමිල් කාන්තන් සඳහන් කරයි.

රාඩා ආයතය පැවැත්වූ කිසිදු සාකච්ඡාවකට තමන් එක් නොවූ නමුත් තමා හා ටිරාන් අලස් මහතා හමුවූ විට ඔහු තමන් සමග රාඩා ආයතනය ගැන සාකච්ඡා කරන බවද එමිල් කාන්තන් පවසයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව නිවැරදි වේලාවේදී නැගී සිටින බවද ඔහු පවසයි.

ව්‍යාපාරිකයෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකුද වෙන එමිල් කාන්තන් මේ වනවිට ඩුබායිහි පදිංචිව සිටින අතර, ඔහුට ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ.

එසේම එල්.ටී.ටී.ඊ. සංවිධානය හා සබඳතා පැවැත්වූ බවටද එමිල් කාන්තන්ට එරෙහිව චෝදනා පවතින අතර ඔහු 2000 වසරේදී මාස තුනක් කළුතර බන්ධනාගාරයේ සිරගතව සිට පසුව නිදහස් විය. එසේම ඩග්ලස් දේවානන්දා මහතාට පහරදීමේ සිද්ධියක් පිළිබඳවද එමිල් කාන්තන්ට චෝදනා එල්ල වී තිබේ.

2005 වසරේදී පැවැති ජනාධිපතිවරණයේදී එවකට සන්ධාන අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතා සිය ජයග්‍රහණය වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබාදුන් බවට වාර්තා පළවන අතර, එහිදී අතරමැදියෙකු ලෙස එමිල් කාන්තන් සිටි බවටද තොරතුරු වාර්තා වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින එමිල් පවසන්නේ,

"රජයට එරෙහිව කටයුතු කරන්න මහින්ද රාජපක්ෂගෙන් මුදල් ලබාගැනීමට තරම් තත්ත්වයක එල්.ටී.ටී.ඊ.යසිටියා යැයිකියා හිතනවාද?කෙසේ නමුත් රජයේ පාර්ශ්වයෙන් නිල නොවන මට්ටමින් දේශපාලන ජයග්‍රහණයක් සඳහා මා සමග සාකච්ඡා පවත්වා තිබුණා. නමුත් මේ ඒ පිළිබඳව විස්තරාත්මක තොරතුරු දෙන්න අවස්ථාව නෙමෙයි" යැයි ඔහු සඳහන් කරයි.

එසේම වෙනත් මාර්ගවලින් මුදල් ලබාදීමක් සිදු වුණාදැයි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසන්නේ, " එල්.ටී.ටී.ඊ සංවිධානයේ විවිධ අංශ රාජ්‍ය නොවන සංවිධාන හා රජය සමග එක්වෙලා විවිධ වැඩසටහන් ඒ කාලයේ (සුනාමි ව්‍යවසනය සිදුවූ) ක්‍රියාත්මක කරමින් සිටියා. ඒ ව්‍යාපෘතිවලට මුදල් හුවමාරුවීම් සිදුවුණා. අන් අයගේ නම් භාවිත කිරීමේ යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. මෙය අධිකරණයේ පවතින දෙයක් නිසා ඒ ගැන කතා කිරීමට මට අවශ්‍ය නෑ" යනුවෙනි.

තමන් කිසිම අවස්ථාවක වරදකරුවෙකු වී නොමැති බවත්, සමහර අවස්ථාවලදී තමන් සාක්ෂිකරුවෙකු වී තිබෙන බවත් ඔහු පවසයි.තමා අත්අඩංගුවට පත්වූ කාලයේදී දෙමළ ජාතිකයෙකු එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීම සඳහාප්‍රමාණවත් සාක්ෂි අවශ්‍ය නොවූ බවත්, පසුගිය වසර 30ක කාලයේ ඒ සඳහා උදාහරණ ඇති බවත් එමිල් කාන්තන් පවසයි.

තමාට එරෙහිව ඇති ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනය පිළිබඳව අදහස් දක්වන කාන්තන් පවසන්නේ,

"මගේ නමට අදාළව නඩුවක් තිබුණා. ඒ නඩුව වෙනත් උසාවියකට මාරු කර තිබුණත් මම ඒ ගැන දැනුවත් නොවූ හෙයින් මට එම නඩුවට පෙනී සිටින්න බැරිවුණා.ඒ අනුව මාව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර එය ජාත්‍යන්තර පොලීසියටත් දැනුම් දී තිබුණා" යනුවෙනි. කෙසේ වෙතත් තමා අධිකරණය හමුවේ පෙනී නොසිටියද තමා වෙනුවෙන් නීතිඥයෙකු අධිකරණයට ඉදිරිපත් වන බවද ඔහු පවසයි.

සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් අදහස් දක්වන එමිල් කාන්තන් පවසන්නේ යුද්ධයේ අවසන් අදියරේදී තමන් ශ්‍රී ලංකාවේ නොසිටි බැවින් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.