ජොනි හා මහින්දානන්ද අත්අඩංගුවට?

රාජපක්ෂ පාලන සමයේ සිදුවූවා යයි පැවසෙන වංචා දුෂණ කිහිපයක් සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හා මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන් ඉදිරි දින කිහිපයතුලදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මොවුන් දෙදෙනාට බරපතල චෝදනා ගණනාවක් ම එල්ලවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (FCID ) විමර්ශන කිහිපයක්ම සිදු කෙරේ.


සතොස ආයතයේ ගිණුම් ලිපිගොනු රැසක් ගිනිබත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම, කිසිඳු අවසරයකින් තොරව රජයේ වාහන හිතවතුන්ට දෙමින් ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂය ඉක්මවා ඉන්දන ලබාදීම පිළිබඳවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාට චෝදනා එල්ලවී ඇත.

මේ සම්බන්ධයෙන් සහනයක් ලබාදෙන ලෙස එජාප ප්‍රබල ඇමතිවරයෙක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් පසුගියදා ඉල්ලීමක් කර ඇති අතර මෙවැනි කාරනාවලට මැදිහත්විය නොහැකි බවත්, දුෂණ වලට සම්බන්ධ සියලුදෙනා සම්බන්ධයෙන් නිතිය දැඩිව ක්‍රියාත්මක කල යුතු බවත් අගමැතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

ජනපති ගෙන් ආරාධනයක්

මේ අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (25 දා) සවස 5.30 ට ජනපති නිල නිවසට කැඳවා ඇත.

ජනාධිපතිවරයාගේ කැඳවීම ඊයේ (24 ) වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසකට ලැබී ඇති බවත් ඔවුන් ජනාධිපතිවරයා හමුවීමට යන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ජනාධිපතිවරයා සමඟ අද පැවැත්වෙන සාකච්ඡාවේදී මහනුවර සිට පැමිණෙන පාද යාත්‍රාව නවතා දමන ලෙස ඉල්ලීමක්‌ ලැබුණහොත් කුමන ක්‍රියාමාර්ගයක්‌ ගන්නේදැයි මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ කීය.

එජාප ගමන වැළැක්‌වීමට :

"මේ පාද යාත්‍රාව නවත්වන ලෙස ජනාධිපතිවරයා කියන එකක්‌ නැහැ. මොකද මේ පාද යාත්‍රාව පවත්වන්නේ ආණ්‌ඩුව පෙරළා දැමීමට නොවෙයි. රජය ගෙනයන රටට ද්‍රෝහි වැඩපිළිවෙළට එරෙහිවයි.

රජය ජනතාවට එරෙහිව ක්‍රියා කරන අවස්‌ථාවල එයට එරෙහිව අදහස්‌ ප්‍රකාශ කිරීමට සහ විවිධ විරෝධතා දක්‌වන්න ජනාධිපතිවරයා පවා ඒකාබද්ධ විපක්‍ෂයේ අයට අවස්‌ථාව දී තිබෙනවා.

මේ පාද යාත්‍රාව ජනාධිපතිවරයාට එරෙහිව හෝ පක්‍ෂයට එරෙහිව යන ගමනක්‌ නොව එක්‌සත් ජාතික පක්‍ෂ රජය ඒකාධිපති ගමනක්‌ යැම වැළැක්‌වීම සඳහා ගන්නා එක්‌ ක්‍රියාමාර්ගයක්‌ පමණයි. මෙයින් ද රජයේ වැරදි නිවැරදි කර ගැනීමට කටයුතු නොකළහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ රජයක්‌ බිහිකර ගැනීම සඳහා මීට වඩා ජනබලයක්‌ සමඟ පෙරට එන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.