සිංහල සොයුරු සොයුරියනි යාපනයේ සරසවියට එන්න

යාපනය විශ්වවිද්‍යාලයේ මතු දිනයක කිසිඳු ගැටුමක් ඇති නොවන ආකාරයෙන් සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමන් බාර ගන්නා බව කියා සිටින විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ටී. ශෂිධරන්, සියලු සිංහල සිසුන්ට යළිත් විශ්වවිද්‍යාලයට පැමිණ අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියි.

විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධිය ජාතිවාදී අරගලයක් ලෙස විදහා දක්වමින් රටපුරා ජාතිවාදය පැතිරවීමට සමහර කණ්ඩායම් ගත් උත්සාහය පිළිකුලින් යුතුව හෙළා දකින බව ශෂිධරන් කියා සිටියේය.
සරසවියේ සිසුන්ගේ සිද්ධිය දේශපාලනීකරණය නොකරන ලෙස තම සංගමය පළාතේ දේශපාලනඥයන් කැඳවා ඉල්ලා සිටි බවත් මෙම සිදුවීමට අදාළ විඩීයෝ දර්ශන පෙන්වමින් ජාතිවාදය ඇවිස්සීමට උත්සහ කරන පිරිස්වලට එරෙහිව තදින්ම ක්‍රියා කරන්නැයි ද ඉල්ලා සිටි බවත් කීවේය.

මීට අමතරව සිසුන්ගේ මවුපියන් කැඳවා දරුවන් දේශපාලන අතකොළු බවට පත්වීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටි බවත් එහි ඇති භයානක තත්ත්වය තේරුම් කර දී දරුවන් නොමඟ යෑමෙන් වළක්වා ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් පැවසීය.

මින් මතුවට මෙම විශ්වවිද්‍යාලය සියලු ජාතීන්ගේ සාමයේ හා සමගියේ නිවහනක් බවට පරිවර්ථනය කරන බව කියා සිටි ශෂිධරන්, සියලු සිංහල සිසුන්ට බියෙන් සැකෙන් තොරව විශ්වවිද්‍යාලයට පැමිණෙන්නැයි ආයාචනා කරන බවත් අවධාරණය කළේය.