අංකයෙන් ඔබගැන දැන ගන්න

මේ අංකයෙන් යම් පුද්ගලයන් දෙදෙනකු අතර පවතින බැඳීම ,මිත්‍රත්වය,ලෙන්ගතු බව මෙන්ම වෛරය,නොගැලපීම ,අප්‍රිය කිරීම් කියාපායි. ආත්මීය පෙළඹවීමේ අංකය සොයා ගැනීමට අදාළ ජන්මීන් දෙපළගේ සම්පූර්ණ නම වෙන‍ වෙනම ලියා ගත යුතුය.එය නම් දෙකේම ඇති ස්වර අක්ෂර හෙවත් vowels වෙන වෙනම ලියා ගත යුතුය.එම ජන්මීන්ගේ සම්පූර්ණ නමේ ස්වර අක්ෂරවල එකතුව තනි ඉලක්කමක් ලෙස වෙන වෙනම ගත් විට එම ජන්මීන් දෙපළගේ ආත්මීය පෙළඹවීමේ අංකය ලැබේ.

ගැලපීම සොයා බැලී‍මට ගත් ජන්මීන් දෙදෙනාගේ නම්වල ස්වර අක්ෂර එකතු කළ විට ආත්මීය පෙළඹවීමේ අංකය ලැබේ නම් ඔවුන් දෙදෙනාගේ සිතුම් පැතුම් රුචි අරුචිකම් සියල්ල සමානය.

විවාහට සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීමේ දී මේ ආත්මීය පෙළඹවීමේ අංකය සමාන වීම ඉතා වැදගත් වේ.එපමණක් නොව හවුල් ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාරික සහකරුවකු, ජීවිතයට ලංකර ගන්නා මිත්‍රයකු තෝරා ගැනීමේ දී ද මේ අංකය සමාන වේ නම් ඉතා වටී.

ආත්මීය පෙළඹවීමේ අංකය සෙවීමට උදව් වන පයිතගරස් චක්‍රය පහත පරිදි වේ.

1 2 3 4 5 6 7 8 9

A B C D E F G H I

J K L M N O P Q R

S T U V W X Y Z

ස්වර අක්ෂර - a e i o u

ඉහත පයිතගරස් චක්‍රය ආධාරකර ‍ගනිමින් ආත්මීය පෙළඹවීමේ අංකය සොයමු.

උදාහරණ - මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද යන තැනැත්තියට නිලූකා දමයන්ති යන අය මිතුරියක් වීමට සුදුසු දැයි සොයමු.

MANJULA PUSHPARANGANI

PALLEBADDA

vowels හෙවත් ස්වර අක්ෂර

A U A U A A A I A E A A

පයිතගරස් චක්‍රයේ අංකයන් ඊ‍ට යොදාගන්න.

1+3+1+3+1+1+1+9 1+5+1+1

28= 2+8=10=1+0=1

දැන් නිලූකාගේ බලමු.

NILUKA DAMAYANTHI

I U A AAAI

9+3+1+1+1+1+9

25=2+5=7

මේ ජන්මීන් දෙදෙනාගේ ආත්මීය පෙළඹවීමේ අංක එකිනෙකට වෙනස් වෙයි.මොවුන් දෙදෙනා පරස් පර අදහස් දරන අතර මොවුන්ගේ ගතිගුණ ද එකිනෙකට වෙනස් ය. එනිසා මොවුන්ගේ මිත්‍රත්වය සාර්ථක එකක් නොවේ.

දැන් ආත්මීය පෙළඹවීමේ අංකය අංක 1 සිට9 දක්වා ලැබෙන පුද්ගලයන් සතු ගති පැවැතුම් බලමු.

1 නිදහස අගය කරයි

2 සංවේදීය

3 විනෝදයට බරය

4 සැලැස්මට වැඩ

5 නම්‍යශීලීය

6 සමාව දෙති

7 මිතුරන් හිඟය

8 හිතුවක්කාරය

9 ආගම දහමට නැඹුරුය

ආත්මීය පෙළඹවීමේ අංකය 1 නම්

නිදහස උපරිමයෙන් අගයන පුද්ගලයෝය.අනුන් විවේචනය කරයි.ඉවසීම අඩුය.මහා පරිමාණ වැඩ මිස සුලු වැඩ‍ට අත නොගසයි.සෑම තැනකම නායකත්වය අපේක්ෂා කරයි.ආත්ම විශ්වාසය,ආත්ම ශක්තිය උපරිමයෙන් පවතී.අන් අයගේ දක්ෂතා ඉක්මනින් හඳුනා ගනී. තමාට අවශ්‍ය ලෙස ඔවුන් ගෙන් වැඩ ගැනීමට සුපිරි හැකියාවක් ඇත.මොවුන් තුළ ඇති ප්‍රබල අධිෂ්ඨානය ජීවිතයේ ඉහළම තැනට ගෙන යයි.දියුණු වීමට ආශා වෙයි. තමා මෙන්ම අවට සිටින හිතවතුන් ද ඉහළට ගෙන යාමට කැමති ය.තමන්ගේ වැඩට අනුන් ‍අත දානවාට අකමැතිය. කරුණාවන්ත හදවතක් හිමි අයෙකි.නමුත් මොවුන්ගේ පෞරුෂය වැඩි බැවින් ඒ බවක් පිටතට නොපෙනේ.

ආත්මීය පෙළඹවීමේ අංකය 2 නම්

සංවේදීය.හැඟීම්බර පුද්ගලයෝය.කලාවට ප්‍රබල හැකියාවක් ඇති අය වේ. ජනප්‍රිය ය. විශේෂයෙන් මිතුරන් අතර ප්‍රසිද්ධ වේ.ජීවිතයේ ඉලක්ක නැත.එනිසා ජීවිතයේ ඉදිරියට යෑම අඩුය.ප්‍රබල බුද්ධියක් හිමි වුවද එම බුද්ධියෙන් වැඩ ගැනීමට අපොහොසත් වේ.සිත පාලනය කිරීමෙන් ජීවිතයට සහනයක් ලබා ගත හැක.ගැටුම් අප්‍රිය කරයි.සමඟියෙන් සාමයෙන් ජීවත් වීම මොවුන්ගේ අරමුණ වෙයි.

ආත්මීය අංකය 3 නම්

විනෝදයට බර අය වේ. ඒ සඳහා මුදල් වියදම් කරති.මිතුරන් වැඩිය. වෘත්තිමය ජීවිතයේ දී මෙන්ම සැබෑ ජීවිතයේ දී ද මොවුන් රඟපෑමට දක්ෂය.කලාවට දක්ෂය. තිරිසන් සතුන්ට බොහෝ ඇල්ම දක්වයි.ඉවසීම තරමක් අඩුය. නමුත් සිතට එන අදහස් සහ හැඟීම් නොව පාලනය කිරීමේ හැකියාවකින් යුක්තය.නිතර විනෝද ගමන් යෑමට සුන්දර ස්ථාන නැරඹීමට මහත් කැමැත්තක් දක්වයි.වෘත්තීමය ජීවිතයේ දී බොහෝ සැලකිළිමත්ව උනන්දුවෙන් වැඩ කිරීමෙන් දියුණුව ලබයි.

ආත්මීය පෙළඹවීමේ අංකය 4 නම්

සියලු කටයුතු යම් සැලසුමකට අනුව කරයි. තම ජීවිතයේ ප්‍රසිද්ධිය කීර්තිය, ගෞරවය ගැන උනන්දුවේ. ඒ සඳහා කැප වී වැ‍ඩ කිරීමද දැකිය හැක.සැප සම්පත් වලින් පිරි ජීවිතයක් ලබා ගැනීම ‍මේ අයගේ එකම අරමුණයි.යමක් ‍තේරුම්කර දීමේ ප්‍රබල හැකියාවක් ඇත. මුරණ්ඩු,හිතුවක්කාරී චරිත වේ.ආදරයට බොහෝ සේ ආශා කරයි.නොනැමෙන අය බැවින් ජිවිතයේ නොයෙක් ගැටුම් ඇතිකර ගනී. යල් පැන ගිය අදහස් ඇතත් ප්‍රායෝගික පුද්ගලයෝය.

ආත්මීය පෙළඹවීමේ අංකය 5 නම්

නම්‍යශීලී පුද්ගලයන්ය.තීක්ෂණ නුවණ ඇති අය වේ.එකවර වැඩ කිහිපයක යෙදීමේ හැකියාව ඇත.සම්මතයට වඩා අසම්මතයට ගරු කරයි.මොවුන්ගේ සුහදශීලී බව හා සමාජශීලී කැපී පෙනෙන ගති ඇත.අරඹන කටයුත්තක් අවසාන කරන්නේ කලාතුරකිනි.විරුද්ධ ලිංගිකයන්ට බොහෝ ප්‍රිය කරයි.පමණට වඩා ඊ‍ට යොමුවීම ද දැකිය හැක.මොවුන් විවිධ දේ සෙවීමට මෙන්ම විමර්ශනය කිරීමට ද දක්ෂය.

ආත්මීය පෙළඹවීමේ අංකය 6 නම්

ඕනෑම කෙනෙකුට සමාව දෙන පුද්ගලයෝය.තමන්ගේ පවුලට මෙන්ම දූ දරුවන්ටද හොඳින් ආදරය කරයි.ඥාති මිතුරු සැමට ඉතා ළැදිය.මිතුරන්ගේ කරදරයක දී නොපැකිලව උදව් කරයි.මේ අයටද නොමඳව ප්‍රති උපකාර ලැබේ.අංග සම්පූර්ණ පුද්ගලයන් සෙවීම මේ අයගේ සිරිතය.පක්ෂපාතීත්වය නැති බැවින් අනුන්ගේ සේවයට නුසුදුසුය.පමණට වඩා කැපවීම හැඟීම්බර වීම ජීවිතයට අවාසිදායක වේ.මුරණ්ඩු චරිත මෙන්ම වාදයට ද බරය.

ආත්මීය පෙළඹවීමේ අංකය 7 නම්

මිතුරන් අඩු පුද්ගලයෙකි.සිතිවිලි වලින් පොහොසත්ය. හුදකලාවට ප්‍රියය.යමක් පිළිගැනීමට විද්‍යාත්මක පසුබිමක් සොයයි.වෙහෙ‍සී කටයුතු කිරීමට ප්‍රිය නොවේ.තම මතයම ක්‍රියාත්මක කරයි.මොවුන්ගේ සිත තුළ බලාපොරොත්තු අපේක්ෂා ගොන්නකි.භාවනාවට යොමු වීම නිරන්තරයෙන් සිදුවේ.

ආත්මීය පෙළඹවීමේ අංකය 8 නම්

නායකත්යට ප්‍රබල හැකියාවක් ඇත.තරමක් හිතුවක්කාර මුරණ්ඩු ගති ඇති කරයි.නිතර තමා හරියටම හරියැයි සිතයි.සෑම ස්ථානයකම ප්‍රධානත්වය බලාපොරොත්තු වේ.තීරණ ගැනීමේ දී හොඳ තීරණවලට පෙළඹේ.බලයට ලෞකික සැපයට ගිජුය.ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරයි.අනුන් යටතේ වැඩ කිරීමට වඩා තමන්ගේම දෙයක් කිරී‍ම දැකිය හැක.

ආත්මීය පෙළඹවීමේ අංකය 9නම්

ආධ්‍යාත්මික ජීවිතයට ප්‍රියය.සිහින ලොවක ජීවත් වේ.ඉතා කලබලකාරී සංවේදී චරිත වේ.බොහෝ අවදානම් ක්‍රියාවල නිරත වන අය වේ. තේරුම් ගත නොහැක.තමන්ගේ දැනුම අනුන්ගේ අයහපත වෙනුවෙන් යොදවයි.අනුන්ගේ අඩුපාඩු දොස් පරොස් නිතර විවේචනය කරයි.කලාත්මක දේ සඳහා ද මහඟු දස්කමක් ඇත.ලේඛනයට රංගනයට ද දක්ෂය.මෙවැනි අය ක්ෂණික තීරණ ගනී. තමන් ඇසුරුකරන අයද එසේ විය යුතු යැයි සිතයි. ඒ අය ක්ෂණිකව තීරණ නොගත්තොත් ගැටුම් ද ඇතිකර ගනී.

ජ්‍යොතිෂවේදී

මහේන්ද්‍ර පල්ලේබැද්ද