පාද යාත්‍රාවට ආණ්ඩුවම බය වෙලා

පවතින අසංවේදී ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනතා වේදිකාවක් ගොඩනැඟී ඇති මේ මොහොතේ උඩරටින් කොළොම්තොට පැමිණෙන පාද යාත්‍රාව ඓතිහාසික සටහනක් වනු නොඅනුමාන යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

බියෙන්, ත්‍රස්තයෙන් වෙව්ලුම්කන ආණ්ඩුව පාද යාත්‍රා සටන කෙසේ හෝ වැළැක්වීමේ උත්සාහයක නිරතව සිටින බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.


අද පාද යාත්‍රාව නතර කරන්න ආණ්ඩුවේ මෙහෙකරුවෝ අධිකරණ ක්‍රියාමාර්ගවලට යනවලු. ආණ්ඩුවේ කුලී හේවායෝ තැන් තැන්වල තර්ජන කරනවා. එ. ජා. ප. ප්‍රබලයෙක් නුවර ඉඳලා මාවනැල්ල දක්වා ක්‍රීඩාංගණ සියල්ල ඇණවුම් කරලා. ආණ්ඩුවේ නිලධාරීන් දේශපාලන නියෝග දෙනවා. කිසිවෙක් මේ ප්‍රාථමික මට්ටමේ තර්ජනවලට අවනත විය යුතු නැතැයි අලහප්පෙරුම මහතා පැවැසුවේය.

යූ. එන්. පී. ය එක්ක ගිවිසුම් නැත්නම් පාද යාත්‍රාවට එන අයට විනය පරීක්‍ෂණ මොකටද? කියලා මම පක්‍ෂ මහලේකම් දුමින්ද දිසානායකගෙන් අහනවා. අපි දන්නේ එක දෙයයි. දුමින්ද දිසානායකගේ ප්‍රකාශයම හාස්‍යජනකයි යැයිද ඒ මහතා පැවැසීය.

සන්ධාන මහ ලේකම් අමරවීර කියනවා ඒකාබද්ධ විපක්‍ෂය ආණ්ඩුවේ යූ. එන්. පී. කොන්ත්‍රාත්තු කරනවා කියලා. එහෙම කියලා ඔහුම කියනවා ආණ්ඩුව අවුරුදු 5ක අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කරනවා කියලා. දැන් කවුද කොන්ත්‍රාත් කරන්නේ යැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ ඊයේ (26දා) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම අවස්ථාවේදී මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතාද අදහස් දක්වමින් කියා සිටියේ කුමන බලපෑම ආවද පාද යාත්‍රාව කිසිවකුට නතර කර නොහැකි බවය.
එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්‍ෂ, ප්‍රසන්න රණතුංග, කෙහෙලිය රඹුක්වැල්ල, සී. බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ද මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු කිහිපදෙනක් සහභාගි වූහ.