යුද්ධාධිකරණ තීන්දුව ජනපති බලරහිත කරයි

ඕස්ට්‍රේලියා මිනිස් ජාවාරම හා කප්පම් ගැනීමට දෙමළ තරුණයන් පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනා එල්ල වී ඇති ‍‍‍ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් කීපදෙනකුට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණයක ප්‍රධාන සාක්ෂිකරුවකු වන ලුතිනන් කමාන්ඩර් කේ.සී. වෙලගෙදරට එරෙහි යුද්ධාධිකරණය දුන් නඩු තීන්දුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බලරහිත කර තිබේ.

එය ඔහුගෙන් පලිගැනීමට දුන් තීන්දුවක් සේ සලකා මෙම පියවර ගෙන ඇත.

නොදන්වා දින දාහතක් සේවයට වාර්තා නොකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම නිලධාරියාට එරෙහිව නාවික හමුදාව විසින් යුද්ධාධිකරණයට පමුණුවා තිබුණි. එහිදී ඔහුට එරෙහිව තිබූ චෝදනාවලට වැරදිකරු කරමින් ඔහුගේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය අතීතයට බලපාන පරිදි සිවු වසරකට අත්හිටුවා තිබුණි.

යුද්ධාධිකරණයේ මෙම තීන්දුවට එරෙහිව ලුතිනන් කමාන්ඩර් වෙලගෙදර ජනාධිපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ අතර ඉන් ඔහු පවසා තිබුණේ යුද්ධාධිකරණය මූලික නීති උල්ලංඝනය කර තමාගෙන් පලිගැනීමට ඉතා අසාධාරණ ලෙස නඩුව පවත්වාගෙන ගිය බවය. මේ සිද්ධිය පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය අනාවරණය කර තිබුණි.

ඔහුගේ අභියාචනාව සැලකිල්ලට ගත් ජනපතිවරයා යහපාලනය තුළ නීතියේ අපක්ෂපාතීත්වය ඉටුවිය යුතු බව සඳහන් කරමින් ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරගේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය පහළ නොදමන ලෙස නාවික හමුදාවට නියෝග කර තිබේ.

ඒ අනුව එම නිලධාරියා සේවයට වාර්තා නොකළ දිනවල ඔහුගේ වැටුප් කැපීමට පමණක් තීන්දු කර ඇති බව සඳහන්ය.

මිහිරි ෆොන්සේකා