රත්නපුරයේ ගණිකාවෝ 400 ක්

රත්නපුර දිස්ත්‍රික්කයෙන් වෘත්තීය ගණිකාවන් 400 දෙනකු පමණ හඳුනාගෙන ඇති අතර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දනයේදී වඩාත් බලපෑම් සහිත හා අවදානම් කණ්ඩායම ලෙස ඔවුන් නම් කළ හැකියැයි රත්නපුර මහ රෝහ‍ලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ස්ථානාධිපති වෛද්‍ය කාංචන උපසේන මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා ඉහත ප්‍රකාශය කළේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධනය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා එම ඒකකයේදී ඊයේ (26) පැවැත් වූ වැඩසටහනක් අතරතුරදීය.

බොහෝ ගණිකාවන් අවු. 24-40 වයස් කාණ්ඩය නියෝජනය කරන බව කී වෛද්‍යවරයා ආරක්ෂිත ක්‍රමවලින් තොරව මොවුන් සමග ලිංගික සබඳතා පැවැත්වීම නිසා ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වන පිරිසක් සිටින අතර පසුගිය කාලය ඇතුළත ඒඩ්ස් ආසාදිතයින් 60 ක් පමණ හඳුනාගෙන ඇතැයිද කීය. වෛද්‍ය කාංචන උපසේන මහතා මෙසේද පැවසීය.

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් වර්ධනයට බොහෝවිට හේතු වන්නේ අනාරක්ෂිත ලිංගික සබඳතා බව පිළිගෙන තියෙනවා. මේ නිසා එවැනි සෑම අවස්ථාවකම උපත් පාලන කොපු පාවිච්චි කිරීමේ වැදගත්කම ගැන අපි උපදෙස් දෙනවා. උපදෙස්වලට අමතරව එම උපකරණ අප විසින් නොමි‍ලේ බෙදාදීමක් කරනවා. පසුගිය වසර තුළ උපත් පාලන කොපු විසි හය දාහක් නොමි‍ලේ බෙදා දුන්නා. එහෙත් අනාරක්ෂිත ලිංගික සබඳතා නිසා රෝග ආසාදිතයන් වූ පිරිස් ප්‍රතිකාර පතා එන අය අතරින් හමුවීම කනගාටුදායකයි.

නොමි‍ලේ දෙන උපත් පාලන කොපු ලබා ගැනීමට බොහෝ දනා උනන්දු නමුත් සමහරුන් සායනවලට සහභාගිවීමට කැමැත්තක් නොදක්වන බවද වෛද්‍ය කාංචන උපසේන මහතා කීය.