උසස් පෙළ විභාගය 2දා සිට

අධ්‍යයනපොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 2,204 කදී ලබන අඟහරුවාදා (2) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 315,605දෙනකු පෙනී සිටිති. මෙයින් 240,991ක් පාසල් අයදුම්කරුවන් වන අතර, 74,614ක් පෞද්ගලික අයදුම්කරුවෝ වෙති. විභාග පරිපාලනය සඳහා දිවයින පුරා 27,500ක කාර්ය මණ්ඩලයක් යොදවා තිබේ.

විභාගය පෙරවරු 8.30ට ආරම්භ වන බැවින් පෙරවරු 8.00 ට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවත්, එසේ පැමිණෙන විට විභාග ප්‍රවේශ පත්‍රය, ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යයෙන් රැගෙන යා යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

විභාගයට පැමිණීමට පෙර කල් වේලා ඇතිව ප්‍රවේශ පත්‍රය හොඳින්පරීක්ෂා කළ යුතු අතර, තමා ඉල්ලුම් කරන විෂයයන්, මාධ්‍යය සහ අස්සන සහතික කිර‍්ම ආදී වැදගත් කරුණු පිළිබඳ හොඳින් පරීක්ෂා කළ යුතු බවද ඒ මහතා සඳහන් කරයි. යම් වෙනසක් ඇතිනම් ඒ බව වහාම විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම්දිය යුතුය.

මෙවර විභාගයේදී අයදුම්කරුවන් ස්මාට් අත්ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මඟින් විභාග වංචා සිදුකරන්නේද යන්න පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස විභාග ශාලාධිපතිවරුන් දැනුම්වත් කොට ඇති අතර, එම අයදුම්කරුවන්ට වසර 5කට විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලබන සියලුම විභාගය සඳහා පෙනී සිටීමට තහනමක් පනවනු ලබන අතර මෙවර විභාගයේ ප්‍රතිඵල ද අවලංගු කිරීමට පියවර ගැනේ.

විභාගය පවත්වනු ලබන අවස්ථාවේ බාහිර පාර්ශ්වයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ බව වහාම විභාග දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට දැනුම්දීමට සියලු උපදෙස් ශාලාධිපතිවරුන් වෙත සපයා ඇත. විභාග ශාලාවේ කිසියම් විභාග වංචාවක් සිදුවන්නේ නම් ඒ බව විභාග අපේක්ෂකයන්ට සහ මවුපියන්ට ද විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දිය හැකිය.

සෑම පැමිණිල්ලක් පිළිබඳව ම සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායම් සූදානමින් සිටින බවද, විභාග අධීක්ෂණ කණ්ඩායම් උතුරු නැඟෙනහිර ප්‍රදේශ ද ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයකට ම යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇත.

විභාගය සම්බන්ධයෙන් විමසීම් කිරීම සහ පැමිණිලි කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911, පාසල් විභාග සංවිධාන ශාඛාවේ 011 2784208,011 2784537, 011 3188350, 011 3140314 හෝ, පොලිස් මූලස්ථානයේ 0112 421111 සහ පොලිස් හදිසි ඇමතුම් අංක 119 ඇමතිය හැකිය.